විමත් දින්සර සාන්ත සෙබස්තියන් විද්‍යාලයට නොතිබූ ජයක් ගෙන දෙයි!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

1016
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (19) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

ඊයේ දිනයේ (18) ආරම්භ වූ කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර දෙදින තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය අද සමත් වීම විශේෂත්වයක්.

විශේෂයෙන්ම ඊයේ දිනය අවසන් වන විට මලියදේවය විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 200ට පිළිතුරු ලෙස සෙබස්තියන් පිතිකරුවන් කඩුලු 6ක් දැවී ලබා සිටියේ ලකුණු 126ක් පමණයි.

නමුත් ඒ වන විට නොදැවී ලකුණු 60ක් ලබා සිටි විමත් දින්සර අද දිනයේ දී තම ඉනිමට තවත් ලකුණු 80ක් එක් කර ගැනීමට සමත් වුනා.

පන්දු 205කින් ලකුණු 140ක් ලබාගත් විමත්ගේ ඉනිම නිසා සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 254ක් එක් කිරීමට සමත් වූ අතර මලියදේවය වෙනුවෙන් තවීශ බාලසූරිය කඩුලු 5ක් බිඳ හෙළුවා.

පසුව ලකුණු 54ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කල මලියදේව පිතිකරුවන් සියල්ලන් ම පන්දුවාර 47 පන්දු 3ක් තුළ ලකුණු 147කට සීමා කිරීමට සෙබස්තියන් පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී මලියදේව දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වීමට පන්සිළු රණසිංහ විසින් සමත් වූ අතර ඔහුගේ පිත්තෙන් ලකුණු 41ක් වාර්තා වුනා. මේ අතර සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මනුජ චන්තුක විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව තරගය ජයග්‍රහණය කිරීමට සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 94ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් විසින් සිය ඉලක්කය පන්දුවාර 13 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත්තා.

මෙහි දී නැවතත් ක්‍රියාත්මක වූ විමත් දින්සර විසින් ලකුණු 27කට කඩුලු 3ක් බිඳ වැටුණු සෙබස්තියන් ඉනිම තනිව ඉදිරියට රැගෙන යාමට සමත් වුනේ පන්දු 30ක් පමණක් වැය කරමින් වාර්තා කළ වේගවත් ලකුණු 49 සමඟයි.

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය200/10 (61.4) ගයන වීරසිංහ 88, විනුක ගලප්පත්ති 46*, මලින්ත සිල්වා 3/50 & 147/10 (47.3) පන්සිළු රණසිං 41, මනුජ චන්තුක 4/60, නවෝද් ප්‍රනාන්දු 3/21, මලින්ත සිල්වා 3/22
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 254/10 (76) විමත් දින්සර 140, තවීශ බාලසූරිය 5/56, ගයන වීරසිංහ 3/62 & 94/3 (13.1) විමත් දින්සර 49*, ගයන වීරසිංහ 3/56

 

මේ අතර ඊයේ දිනයේ ආරම්භ වූ අනෙක් දෙදින තරගය වන මාතර සාන්ත සර්වේශස් සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය අද දිනයේ ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඊයේ දිනය නිමා වන විට සර්වේශස් නායක දිනිරු අබේවික්‍රමසිංහ විසින් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසා ලකුණු 300 සීමාව පසු කිරීමට සර්වේශස් විද්‍යාලය විසින් සමත් වූ අතර, අද දිනය ආරම්භයේ දී ඔවුන් විසින් සිය පළමු ඉනිම අත්හිටුවමින් තෝමසුවන්ට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට ආරාධනා කළා.

කෙසේ වෙතත් සාන්ත තෝමස් ඉනිමේ පළමු කඩුලු 5ම ලකුණු 125ක් තුළ දවා ගැනීමට සර්වේශස් පන්දු යවන්නන් විසින් සමත් වුනේ තමන්ට තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් පිළිබඳ හෝ බලාපොරොත්තු තබා ගත හැකි වනු ඇති බව ඉඟි කරමිනුයි. නමුත් තෝමස් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් පිහිටුවීමට නාතන් කල්දේරා සහ ආකාශ් ප්‍රනාන්දු විසින් සමත් වූ අතර මේ හේතුවෙන් අයහපත් ආලෝක තත්වය නිසා තරගය නතර කරන විට තෝමසුවන් කඩුලු 7ක් දැවී ලකුණු 231ක් ලබා සිටිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුනා.

ඒ වෙනුවෙන් නාතන් කල්දේරා පන්දු 135කින් ලකුණු 51ක් සහ ආකාශ් ප්‍රනාන්දු 102කින් ලකුණු 47 ලබා ගනිමින් වටිනා සහයෝගයක් ලබා දුන්නා.

සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් වෙනුවෙන් චලන ඉන්දූශ විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 311/7 (83) දිනිරු අබේවික්‍රමසිංහ 141, විරාන් චමුදිත 41*, රවීන් කවින්ත 41, චමරිඳු නෙත්සර 40, අභීත් පරණවිදාන 3/79, අශේන් පෙරේරා 2/37
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 231/7 (77.5) තිසේන් ඇහැලියගොඩ 62, නාතන් කල්දේරා 51*, ආකාශ් ප්‍රනාන්දු 47, චලන ඉන්දූශ 4/55

මෙම තරග ද්විත්වය අද දිනයෙන් අවසන් වූ අතර කොළඹ සහිරා විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය අතර තවත් සාම්ප්‍රදායික තරගයක් අද දිනයේ දී ආරම්භ වුනා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට වරම් ලැබූ සහිරා විද්‍යාලය විසින් අද දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 311ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

සහිරා ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 149ක් තුළ දැවී ගියත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ රොශාන් කරීම් නොදැවී ලකුණු 109ක් සහ මොහොමඩ් ඉජාස් නොදැවී ලකුණු 84ක් රැස් කරමින් ලකුණු 162ක නොදැවුණු සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

  • කොළඹ සහිරා විද්‍යාලය– 311/4 (73) රොශාන් කරීම් 109*, මොහොමඩ් ඉජාස් 84*, රමිත් බණ්ඩාර 2/65

මෙම තරගයේ දෙවන දිනය හෙට (20) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<