ශ්‍රී ලංකා ප්‍රථම දැල්පන්දු නායිකාව දිවි ගමනින් සමුගනී

2436

ජාත්‍යන්තර තරගයක් නියෝජනය කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ප්‍රථම නායිකාව වූ සින්තියා රස්කුයිනෝ (Cynthia Rasquinho) මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වී ඇත.

1940 වසරේ සිටම දැල්පන්දු ක්‍රීඩාවට ක්‍රීඩිකාවක්, පුහුණුකාරිණියක්, තරග විනිශ්චයකාරවරියක් සහ පරිපාලන නිලධාරිණියක් ලෙස ද සිය දායකත්වය සැපයූ ඇය මිය යන විට 91 වැනි වියෙහි පසු විය.

දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

කොළඹ මොතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වූ ඇය පාසල් අවධියේ සිටම දක්ෂ ක්‍රීඩිකාවක් වූ අතර පසුව එම විද්‍යාලයේම පුහුණුකාරිණියක ලෙස පත් වෙමින් 1946 වසරේ සමස්ත ලංකා මලල ක්‍රීඩා ශූරතාවයත්, 1956 වසරේ දී සමස්ත ලංකා දැල්පන්දු ශූරතාවයත් දිනා ගැනීමට සිය දායකත්වය සපයන ලදි.

මැඩ්‍රාස් “YMCA’s Physical Education Training College” හී අධ්‍යාපනය ලැබූ ඇය 1944 වසරේ සිට 1977 වසර දක්වා “St.Bridget’s” කන්‍යාරාමයේ මලල ක්‍රීඩා හා දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස ද කටයුතු කළ අතර එම පාසලට දැල්පන්දු ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ද ඇය විසිනි.

වර්ෂ 1956 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහි තරගාවලියක් සඳහා නම් කළ දැල්පන්දු සංචිතයේ නායිකාව බවට පත්වෙමින් මෙරට පළමු දැල්පන්දු නායිකාව වීමට ඇය සමත් විය.

මලල ක්‍රීඩා පිටියට ද සිය දායකත්වය සැපයූ ඇය 1957 වසරේ දී “Shamrocks” ක්‍රීඩා සමාජය හඳුන්වා දුන් අතර 1950 දශකයේ අග භාගයේ දී සහ 1960 දශකය මුලදී ජාතික ශූරතාවයන් කිහිපයක් දිනා ගැනීමට ද එම ක්‍රීඩා සමාජය සමත් විය.

පාසල් පිටිය තුළ දී පුහුණුකාරිණියෙකු වශයෙන් අගනා සේවයක් ඉටු කළ ඇය 1976 වසරේ සිට 1985 වසර දක්වා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස පත්වූ අතර ඇයට 1983 වසරේ පැවති ලෝක දැල්පන්දු ශූරතාවලියට කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම ද හිමි විය.

පසුව 1994 වසරේ දී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති බවට පත් වූ ඇය බස්නාහිර පළාත් දැල්පන්දු සම්මේලනයේ ආරම්භ සාමාජිකාවක් මෙන්ම සභාපති ධූරය ද දැරූ අතර ශ්‍රී ලංකා දැල්පන්දු විනිසුරුවරුන්ගේ සම්මේලනයේ සාමාජිකාවක් ද විය.

ඉතා පරාර්ථකාමී පුද්ගලයෙකු වූ රස්කුයිනෝ මහත්මිය බොහෝ විට සිය සේවාව කිසිදු මුදලක් අය නොකරම ලබා දුන් අතර ක්‍රීඩාවේ සහ එයට සහභාගි වෙන ක්‍රීඩකයන්ගේ දියුණුව ඇගේ එකම පරමාර්ථය විය. 

මෙරට ක්‍රීඩාවට අමිල සේවයක් ඉටු කළ ඇය අප හදවත් තුළ සදාකාලිකව ජීවමාන වන අතර ThePapre.com අප විසින් ඇයගේ පවුලේ සැමට සහ ඥාතීන්ට අපගේ සාතීශය සංවේගය පල කර සිටින්නෙමු.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<