ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිවියෙන් සමුගනි

274

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5කට ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අද (10) අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට වයස අවුරුදු 73ක් වන ඒ මහතා දැඩි ලෙස  රෝගාතුර වී සිට ඇත.

1947 වසරේ අගෝස්තු 5 වැනිදා මෙලොව එලිය දුටු ඕපාත මහතා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආදී සිසුවෙක් වන අතර ඔහු 1975 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කරන ලදි. එවකට සිලෝන් ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එය වන අතර ඕපාත ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ලෝක කුසලාන සංචිතයේ සාමාජිකයෙකි.

තවත් කියවන්න;

AROSA සංචාරය හෙවත් ‘තහනම් ගහේ ගෙඩි කෑ ගමන’ ලෙසින් නම් පට බැඳි දැඩි මත භේදයකට ලක්වූ 1982 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සැලසුම් කළ ප්‍රධාන සාමාජිකයා ද ඕපාත විය. ඔහු එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස සහ කණ්ඩායම් කළමනාකරු ලෙස ද කටයුතු කරන ලදි.

චමින්ද වාස් බිහිවීමට පෙර කාලසාමය තුල ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් දක්ෂ වේගපන්දු යවන්නෙක් ලෙස ද ඔහු සැලකේ. දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන ඕපාත මහතා තරග 5ක දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුවත්, 1982 දකුණු අප්‍රිකානු සංචාරය නිසාවෙන් ඔහු ඇතුළු සහභාගී වූ ක්‍රීඩකයින් 14 දෙනෙක් හට වසර 25ක තරග තහනමක් පනවනු ලැබුවත් පසුව ඒ තහනම ලිහිල් කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සඳහා විශාල මෙහෙයක් කළ ටෝනි ඕපාත (AROSA) මහත්මයාණෙනි ඔබට නිවන් සුව.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<