උත්කර්ෂවත් අවසානයට සිරිකුරුස සහ සා. ජෝසප් කණ්ඩායම් සූදානම්

420
U19 Division 1 Final and 3rd place matches preview

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මඟින් සංවිධානය කරන, 19න් පහල පළමු කාණ්ඩයේ පාපන්දු තරඟාවලියේ සමාප්තිය සටහන් කරනා අවසන් තරඟය වෙත, තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක මේ වන විට තේරී පත්වී ඇත.

අවසන් මහා තරගයේදී කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය, හෙට (21) සවස 4.00ට මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් කිරුල වෙත සටන් වදිනු ඇත.

ඔවුන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු තරඟාවලියේ කාණ්ඩ දෙකේම දෙවන ස්ථානය ලබාගත් කණ්ඩායම් දෙකයි.

අවු. 19න් පහළ 1 කාණ්ඩයේ අවසන් පූර්ව තරඟයට පෙර විමසුම

ගියවර ශූරතාව දරා සිටින මාරිස්ටෙලා විද්‍යාලය හා පසුගිය වර අනුශූරයන් වූ හමීඩ් අල් හුසේන් විද්‍යාලයම මෙවරද අවසන් මහා තරඟයේදී දහසක්…

කණ්ඩායම් දෙක අවසානය කරා ආ ගමන

කළුතර සිරිකුරුස විද්‍යාලය

ලකුණු 14ක් සමඟින් “B” කාණ්ඩයේ දෙවන තැනට පත්වූයේ මොවුන්ය. කණ්ඩායම් වටයේ තරඟවලදී සහීරා විද්‍යාලයටත්, රාජකීය විද්‍යාලයටත් එරෙහිව පැවති තරඟ දෙකම ජය පරාජයෙන් තොරව අවසන් කරමින් අනෙකුත් තරඟ සියල්ල ජයග්‍රහණය කළ සිරිකුරුස පාපන්දු කණ්ඩායම, කණ්ඩායම් වටයේ අවසන් තරඟය හමීඩ් අල් හුසෙයිනි කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඔවුන් ක්‍රීඩා කළ තරඟ

  • රාජකීය විද්‍යාලයට එරෙහිව ගෝල 1-1 (ජය පරාජයෙන් තොරයි)
  • සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ගෝල 2-1 (ජය)
  • ආනන්ද විද්‍යාලයට එරෙහිව ගෝල 6-0 (ජය)
  • සහීරා විද්‍යාලයට එරෙහිව ගෝල 1-1 (ජය පරාජයෙන් තොරයි)
  • ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ගෝල 2-0 (ජය)
  • හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයට එරෙහිව ගෝල 2-1 (ජය)  
  • සිරිකුරුස විද්‍යාලය 2-1 මාරිස්ටෙලා විද්‍යාලය (අවසන් පූර්ව තරඟය)

තරඟයේ දෙවන මිනිත්තුවේදී කෙවින් නිර්මාල් විසින් එල්ල කළ වේගවත් ගෝලයක් සමඟින් පසුගිය වසරේ ශූරයන් වූ මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහි අවසන් පූර්ව තරඟයේ පාලනය මුල සිටම ලබා ගන්නට සිරිකුරුසයට හැකිවිය.

නිර්මාල් උදාර, ඒ පරතරය දෙගුණ කළ අතර මාරිස්ටෙලාව වෙනුවෙන් අංජන ගුණවර්ධන තරඟය අවසානයට මිනිත්තු 5කට පෙර ගෝලයක් වාර්තා කරන්නට සමත් වූවත් සිරිකුරුස විදුහල් අන්තය ආරක්ෂා කරගත් සිරිකුරුස ක්‍රීඩකයන් පාසල් පාපන්දු පිටියේ උසස්ම ජයග්‍රහණයේ අභිමුවට තම විදුහල ගෙන ගියේය.

පසුගිය ලිපි : මාරිස්ටෙලාව සිරිකුරුසයේ ආරක්ෂක බැම්ම ළඟ නවතියි

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

කණ්ඩායම් වටයේදී ලකුණු 15ක් හිමිකරගත්තද, මාරිස්ටෙලා විද්‍යාලය හමුවේ ගෝල 2-1ක් වශයෙන් ලද පරාජයත් සමඟින් තම කාණ්ඩයේ දෙවන තැනට පත්වන්නට ඔවුනට සිදුවිය. සාන්ත ජෝසප් ක්‍රීඩකයන් අවසන් පූර්ව තරඟය තෙක් ගෝල 22ක් වාර්තා කළ අතර එය මේ කාණ්ඩය තුළ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාවයි.

ඔවුන් ක්‍රීඩා කළ තරඟ

  • සාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ගෝල 4-0 (ජය)
  • සාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ගෝල 2-1 (ජය)
  • කිංස්වුඩ් විදුහලට එරෙහිව ගෝල 2-0 (ජය)
  • මාරිස්ටෙලා විදුහලට එරෙහිව ගෝල 1-2 (පරාජය)
  • වික්‍රමබාහු විදුහලට එරෙහිව ගෝල 7-1 (ජය)
  • ඉසිපතන විදුහලට එරෙහිව ගෝල 6-0 (ජය)
  • සාන්ත ජෝසප් විද්‍යාලය (4) 0 – 0 (3) හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය (අවසන් පූර්ව තරඟය)

තරඟය පුරාවටම ගෝල ලබා ගැනීමට නොහැකි වූ බැවින් තරඟය දඬුවම් පහර තෙක් දිගු වූ අතර සාන්ත ජෝසප් විදුහලේ අසේල මධුශාන්ගේ පාදයෙන් පහසු ගෝල අවස්ථා දෙකක්ම ගිලිහුණේය. දඬුවම් පහර වලදී තම කලබලය පාලනය කරගත් සාන්ත ජෝසප් විදුහල 4-3ක් ලෙස දඬුවම් පහර මඟින් ජයග්‍රහණය කරන්නට සමත් විය.

පසුගිය ලිපි : සාන්ත ජෝසප් කණ්ඩායම දඬුවම් පහරවලින් ජය ලබයි

ප්‍රබල ක්‍රීඩකයන්

සාන්ත ජෝසප් විදුහල

නිමේෂ් සාලින්ද, අසේල මධුශාන් සහ සචින්ත මධුරංග යන තිදෙනාම හිටපු සිරිකුරුස ක්‍රීඩකයන් බැවින් අවසන් තරඟයේදී කුමක් බලාපොරොත්තු විය යුතු දැයි හොඳින් දනියි.

මධුශාන් සහ මධුරංග යන දෙදෙනා තරඟාවලිය පුරාම මනා සබඳතාවයකින් ක්‍රීඩා කළ අතර අවසන් පූර්ව තරඟයේදී මඟහැරුණු අවස්ථාවන් පසෙකලා විශ්වාසයෙන් ක්‍රීඩා කිරීමට ඔවුන් බලා සිටිනු ඇත.

නායක මයුරක පෙරේරා සතුවද විශාල වගකීමක් ඇති අතර නිර්මාල් උදාර අවසන් තරඟයට පිවිසෙන්නේ මේ වන විට තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා ලෙස ගෝල 10ක් ලබාගෙනයි.

සිරිකුරුස විදුහල

සිරිකුරුස විද්‍යාලයට විශ්වාසය ගෙන එන ප්‍රධානතම කරුණ විය හැක්කේ ප්‍රබල මාරිස්ටෙලා කණ්ඩායම පරාජය කරමින් අවසන් තරඟය වෙත පැමිණීමයි.

කෙවින් නිර්මාල්, ආරක්ෂක ක්‍රීඩකයෙකු වුවද ශක්තිමත් දෙපා සහිත ප්‍රබල ක්‍රීඩකයෙකි.

අවසන් පූර්ව තරඟයේදී මාරිස්ටෙලා ප්‍රහාරක අංජන ගුණවර්ධනව සාර්ථකව වළකාලන්නට සමත් වූ ශවින්ද ප්‍රනාන්දු, තම පැරණි මිත්‍රයන් තිදෙනා ප්‍රතිවාදී අන්තයේ සිට කුමන ප්‍රහාරයක් ලබා දෙයි දැයි විමසිලිමත් වනු ඇත.

දෙපිල අතර මෑතදී පැවති තරඟ

කොත්මලේ 19න් පහල තරඟාවලියේදී සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක් ලෙස ජයක් ලබා ගන්නට සිරිකුරුසය සමත් විය.

නමුත් මීළඟ තරඟ පිටිය, ඒ තරඟය පැවති රත්මලාන ක්‍රීඩාංගනයට වඩා බෙහෙවින් වෙනස්ය.

බලාපොරොත්තු විය හැකි උපක්‍රම

අවසන් පූර්ව තරඟයේදී මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩකයන්ව ඉතා හොඳින් පාලනය කරගන්නට සිරිකුරුසයට හැකිවූයේ, ශරීර ශක්තිය පසුබිම් කරගත් උපක්‍රමවලින් වන බැවින් අවසන් තරඟයේදීත් එවැනිම උපක්‍රම බලාපොරොත්තු විය හැකිය.

තරඟ විනය කඩකිරීම් සහ අනවශ්‍ය ස්ථානවලදී ලබාදෙන නිදහස් පහරවල් හැරුණු විට අනෙකුත් කණ්ඩායම්වලට සිරිකුරුස ආරක්ෂක බැමි බිඳලන්නට හැකි වෙනත් පහසු ක්‍රම තරඟාවලිය පුරාම දිස් නොවීය.

සාන්ත ජෝසප් ක්‍රීඩකයන් වේගවත් ක්‍රීඩා ශෛලියට ඇලුම් කරන අතර සිරිකුරුස ක්‍රීඩකයන්ට තරඟයේ වේගය අඩාල කරන්නට ඉඩ නොදීමට ඔවුන් වගබලා ගත යුතුය.

කෙසේවෙතත් ඔවුන්ගේ ඉදිරිපෙල ක්‍රීඩකයන් දෙදෙනාගේ සම්බන්ධතාවය සහ ඔවුන්ගේ නායකයා ප්‍රමුඛ ආරක්ෂක පෙල ක්‍රීඩා කරන ආකාරය ඊයේ (19) හොඳින් ප්‍රදර්ශනය විය. අවසන් පූර්ව තරඟය මෙන් පහසු තරඟයක් අවසන් තරඟයේදී බලාපොරොත්තු විය නොහැකි බැවින්, ඔවුන් කල්පනාකාරීව ක්‍රීඩා කිරීමත්, තරඟයට අනුව වෙනස් වීමත් වැදගත් වේ.

තරඟාවලියේ තෙවන ස්ථානය සඳහා වන සටන

අවසන් තරඟය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකට, තෙවන ස්ථානය සඳහාද එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුවීම දෛවයේ සරදමක් මෙනි.

මාරිස්ටෙලා විද්‍යාලයත්, හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයත් දෙසැම්බර් 21 වනදා පස්වරු 2.00ට මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී තෙවන ස්ථානය වෙනුවෙන් තරඟ වදියි.

කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරඟවලදී තම සුපුරුදු ක්‍රීඩා දක්ෂතා වලට නොපැමිනීම විශේෂත්වයකි.

මාරිස්ටෙලා විද්‍යාලය, සිරිකුරුස විද්‍යාලය හමුවේ ගෝල 2-1ක් ලෙස අවසන් පූර්ව තරඟයේ දී පරාජය වූ අතර හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය ගෝල 4-3ක් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලීය කණ්ඩායම ඉදිරියේ පරාජය වූයේ දඬුවම් පහරවලිනි.

ප්‍රබල ක්‍රීඩකයින්

මාරිස්ටෙලා කණ්ඩායමේ නායක අංජන ගුණවර්ධන යළිත් අවධානයට ලක්වන අතර පරාජිත අවසන් පූර්ව තරඟයේදී තම කණ්ඩායම වෙනුවෙන් එකම ගෝලය වාර්තා කළේ ඔහුය.

නිසල් තාරින්ද සහ තත්සර ප්‍රනාන්දුගේ සහය ඔහුට තෙවන ස්ථානය සඳහා වන තරඟයේදී වැදගත් වනු ඇත.

රත්නම් කණ්ඩායමේද ක්‍රීඩකයෙකු වන අමාන් ෆයිසර්ගේ මැදපෙල දක්ෂතා, හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවහල් විය හැකිය.

මොහොමඩ් සාජිඩ්ට, තම කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබා ගැනීමේ අවස්ථා නිර්මාණය කරගැනීමට හැකි නම් එයද අල් හුසෙයිනි විද්‍යාලය වෙනුවෙන් වැදගත් වනු ඇත.

දෙපිල අතර මෙතෙක් පැවති තරඟ ප්‍රතිඵල

පසුගිය වසරේ තරඟාවලියේදී මාරිස්ටෙලා විද්‍යාලය ගෝල 2-0ක් ලෙස හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය පරාජය කළ අතර ඒ ගෝල දෙකම වාර්තා වූයේ හිටපු මාරිස්ටෙලා නායක සුපුන් ලහිරු විසිනි. මෙවර කණ්ඩායම් දෙක තුළම නවක මුහුණු දැකිය හැකි වන අතර අල් හුසෙයිනි විද්‍යාලයට පෙර වසරේ පරාජයට වාඩුව ගන්නට මෙය අවස්ථාවකි.

බලාපොරොත්තු විය හැකි දක්ෂතා

අවසන් තරඟය වෙනුවෙන් අවස්ථාව නොලැබීම පිළිබඳ කණගාටුව පසෙක ලා, ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායමද යන්න තරඟයේ තීරණයට බලපාන ප්‍රමුඛ සාධකයකි.

මාරිස්ටෙලාවේ නායක අංජන ගුණවර්ධනත්, අල් හුසෙයිනි විද්‍යාලයේ නායක අමාන් ෆයිසරුත්, කණ්ඩායම් දෙකේ පුර්වාදර්ශී ක්‍රීඩකයන් වන අතර තෙවන ස්ථානය තීරණය වන මේ තරඟයේදී ඔවුන්ගෙන් කුමන නායකයා තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නේ දැයි අපි බලා සිටිමු.

සජීවී තරග වීඩියෝව සඳහා පිවිසෙන්න