ක්‍රිකට් ක්‍රීඩාවටත් ආ ජාතිවාදී අරගලය

548

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඩැරන් සැමී හා ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉල්ලා සිදුකරන රැල්ල සඳහා එක්වී තිබේ. 

වර්ණවාදයට සංගාගෙන් පිළිතුරක්

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ‘ජෝර්ජ් ෆ්ලොයිඩ්’ නම් කළු ජාතිකයා එම ප්‍රාන්තයේ පොලිසිය අතින් ඝාතනය වීමත් සමඟින් ඇමරිකාවේ මෙන්ම ලොව පුරා මෙලෙස කළු ජාතිකයන් හට සිදුවන හිංසා පිළිබඳව විශාල රැල්ලක් ගොඩනැගී තිබේ. මෙම රැල්ල සහ විරෝධතා සඳහා ලොව පුරා ක්‍රීඩකයන් රැසක් එක්ව සිටි අතර ඩැරන් සැමී සහ ක්‍රිස් ගේල් එලෙස එක්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස වාර්තා විය. 

වර්ණය මත පදනම්ව මිනිසුන්ට සිදුවන හිංසා වලට එරෙහි ජාතිවාදයේ අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෙස ඩැරන් සැමී පසුගිය සඳුදා twitter පණිවුඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රිකට් ආයතන වලින් ඉල්ලා සිටියේය. සැමීගේ මෙම ප්‍රකාශයන් ඔහුගේ හිටපු කණ්ඩායම් සගයා වන ගේල් විසින් ද ස්ථිර කළ අතර ඔහුද ක්‍රිකට් ක්‍රීඩාවේ මෙම ජාතිවාදී හිංසා ප්‍රචලිත බව ප්‍රකාශ කළේය. 

ඉන් අනතුරුව පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද මේ සම්බන්ධයෙන් twitter පණිවුඩයක් නිකුත් කර තිබිනි. twitter පණිවිඩ 8ක් ඒ සමඟින් ඔහු නිකුත් කර තිබිනි. සංගක්කාර එහිදී කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන මෙම සිදුවීම් අප සැමට ප්‍රබල පාඩමක් වන බවයි. 

46 හැවිරිදි කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්, පසුගිය මැයි 25 වනදා මිනියාපොලිස් හිදී මිය ගියේය. ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටීමේ වරදට ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් රාජකාරියට බාධා කළ බව මිනියාපොලිස් පොලීසිය විසින් පවසා තිබිනි. එහිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු ජෝර්ජ් ෆ්ලොයිඩ් හට මාංචු දමා සිටිය දී මිනිත්තු අටකට වැඩි කාලයක් ඔහුගේ බෙල්ල මත දණහිස තබාගෙන සිටි අතර ෆ්ලොයිඩ්ගේ මරණය එලෙස බෙල්ල මත දණහිස තබාගෙන සිටිමේ දී හුස්ම හිරවීමෙන් සිදුවූ බව පසුව මරණ පරීක්ෂණයෙන් තහවුරු විය. 

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පුද්ගලයන් එය වීඩියෝ ගතකර ඇති අතර පසුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු ප්‍රබල කැළඹීමක් ඇති විය. මෙම සිද්ධිය ඇමරිකා එක්සත් ජනපදය පුරා පුළුල් සහ කෝපාවිෂ්ඨ විරෝධතා අවුලුවා තිබේ. 

එතැන් සිට මෙම හිංසන සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ප්‍රසිද්ධියේ කතා කර තිබිනි. පොලිස් කෲරත්වයට එරෙහිව සහ වාර්ගික අසාධාරණයට විරෝධය දැක්වීම සඳහා පසුගියදා පැවති තරගයක දී ජාතික ගීය වාදනය වන අතරතුර දණගැසීමට NFL හි පසුපෙළ ක්‍රීඩක කොලින් කෙපර්නික් ක්‍රියා කර තිබිනි. මේ පිළිබඳව ඔහුගේ සගයෙකු වන පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබිනි. 

පසුගිය සඳුදා පැවති එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන ලිවර්පූල් කණ්ඩායම ද එක් දණහිසක් බිම තබමින් විරෝධය පලකළ අතර ජර්මානු Bundesliga හි ප්‍රමුඛ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද එම විරෝධතාවන්ට සහයෝගය දක්වමින් සටහන් සහිත ටී ෂර්ට් පැළඳ සිටියහ. 

“මේ මොහොතේ ක්‍රිකට් ලෝකය වර්ණය නිසා මිනිසුන්ට සිදුවන හිංසනයට සහ අසාධාරණයට එරෙහිව නැගී නොසිටින්නේ නම් මීළඟ වීඩියෝව මගේ සහෝදරයා පාගගෙන සිටින වීඩියෝවක් වුනොත් ඔබත් මේ ගැටලුවේ කොටසක්.” යැයි සැමී twitter පණිවුඩයක් ඔස්සේ පැවසීය. 

කළු ජාතිකයන් මෙලෙස දිනපතාම දුක් විඳීම පිළිබඳව තමා කලකිරීමට පත්ව ඇති බවත්, එහි විරෝධතාවයට හඬ නැගීමට ක්‍රිකට් ක්‍රීඩාව ද අවශ්‍ය බව බව සැමී පැවසීය. 

හිටපු ශ්‍රී ලංකා නායිකාව UAE හි හිරවෙයි

මේ සඳහා සහයෝගය පෙන්වීමෙන් ඔබට වෙනසෙහි කොටසක් විය හැකි දැයි සැමී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසා තිබිනි. 

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ අනෙක් ක්‍රිකට් ආයතන මා වැනි පුද්ගලයන්ට සිදුවන්නේ කුමක්දැයි දකින්නේ නැද්ද? ඔබ මගේ වර්ගයට එරෙහි සමාජ අසාධාරණයට එරෙහිව කතා කරන්නේ නැද්ද? මෙය ඇමරිකාව ගැන පමණක් නොවේ. මෙය දිනපතා සිදු වෙන දෙයක්.” 

සැමීගේ මෙම ප්‍රකාශයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේ තමන් සැමවිටම ජාතිවාදය හෙළා දකින බවත් ඒ කෙරෙහි කිසිඳු සමාවක් නොමැති බවත්ය.  

“චර්යාධර්ම සංග්‍රහයේ කොටසක් ලෙස ක්‍රීඩකයන්ට දඬුවම් ලැබීමට පමණක් නොව, ඔහු කළ වරදට අදාළ වන කරුණු පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ දැනුවත් කිරීමක් ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන වැඩසටහනකට යොමු කළ යුතුයි.” 

සැමීගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ESPNcricinfo වෙත අදහස් දක්වා තිබිනි. 

“මෙවැනි හැසිරීම සම්බන්ධයෙන් අපට කිසිඳු ඉවසීමේ ප්‍රතිපත්තියක් නැත. එවැනි වරදක් ජීවිතාන්තය දක්වා තහනමක් දක්වා යොමුකළ හැකියි.” 

“අපි අපගේ සාමාජිකයින්ට මාර්ගෝපදේශ සපයන අතර කාර්ය මණ්ඩලයේ, මාධ්‍යවල, ප්‍රේක්ෂකයන්ගේ යනාදී කිසිඳු ආකාරයක වෙනස් කොට සැලකීමක් කිසිවෙකු විසින් නොඉවසන බව අපි පැහැදිලි කරනවා.”  

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ජොස් බට්ලර්, ජොෆ්රා ආචර් සහ ආදිල් රෂීඩ් වැළඳ ගැනීමේ පින්තූරයක් twitter ඔස්සේ නිකුත් කර තිබිනි. එහි “අපි විවිධත්වය වෙනුවෙන් පෙනී සිටිමු. අපි ජාතිවාදයට එරෙහිව නැගී සිටිමු.” යනුවෙන් සඳහන් කර තිබිනි. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ද (CWI) පසුව සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කළේය. 

“ජාතිවාදයට එරෙහි සටනේ දී සහ සමානාත්මතාවය සහ යුක්තිය උදෙසා කරන සටනේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව සමඟ එක්ව සිටියි.”  

“බටහිර ඉන්දීය කොදෙව් ජනයා පිටියේ දී සහ පිටත දී අපේම සටන් රාශියක් කර තිබෙනවා. කැරිබියන් දූපත් එක්සත් කර අපගේ ජනතාවට විශාල සාර්ථකත්වයක් සහ ආඩම්බරයක් ගෙන දුන් අපගේ ක්‍රිකට් වීරයන්ගේ දක්ෂතාවය, අධිෂ්ඨානය සහ නායකත්වය දැක ගැනීමට ලැබීම අපට භාග්‍යයක්.” 

ලොව බොහෝ ආයතන මෙන් කොදෙව් ක්‍රිකට් ආයතනය ද එහි ලාංඡනය කළු සහ සුදු වර්ණයන්ගෙන් ‘#NewProfilePic’ යන ශීර්ෂපාඨය සහිතව twitter හි පලකර තිබිනි. 

ක්‍රිස් ගේල් පැවසුවේ ලොව පුරා සංචාරය කරන අතරතුර තමා ජාතිවාදී සිදුවීම් වලට මුහුණ දී ඇති බවත් එයට හේතුව වූයේ ඔහු කළු ජාතිකයෙකු වීම බවත්ය. 

“ජාතිවාදය පාපන්දු ක්‍රීඩාවේ පමණක් නොව එය ක්‍රිකට් ක්‍රීඩාවේ ද තිබෙනවා.” යනුවෙන් ඔහු පැවසීය. 

“කණ්ඩායම් තුළ වුවද කළු මිනිසෙකු නිසා මට අවසාන අවස්ථාව ලැබුනු වෙලාවල් තිබුනා.” 

කුමාර් සංගක්කාර එම තත්ත්වය සඳහා ප්‍රතිචාර දක්වමින් නොසලකා හැරීම සහ අගතියට පත්වීමෙන් තොර ලෝක සංස්කෘතියක් අවශ්‍ය බව පවසා සිටියේය. 

පසුගිය නොවැම්බරයේ දී එංගලන්ත වේගපන්දු යවන්නෙකු සහ ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වූ ජොෆ්රා ආචර් හට නවසීලන්තයේ පැවති ටෙස්ට් තරගාවලිය අතරතුර ප්‍රේක්ෂකයෙකුගෙන් ජාතිවාදී අදහස් දැක්වීමක් ලැබිනි. ආචර් පසුව කියා සිටියේ එම පුද්ගලයා තමාව Instagram වෙබ් අඩවියෙන් සම්බන්ධ කර ගත් බවයි. 

“වෙනත් මිනිසෙකුට මේ දේවල් පැවසීමට මිනිසුන්ට එතරම් නිදහසේ හැඟෙන්නේ කෙසේදැයි මට කවදාවත් තේරෙන්නේ නෑ. එය මම ගොඩක් කල්පනා කළ දෙයක්.” යැයි ආචර් පැවසීය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පියවර ගත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය ජනවාරි මාසයේ තහවුරු කළේ 28 හැවිරිදි පුද්ගලයෙකුට වසර දෙකක කාලයක් රටේ කිසිඳු ක්‍රිකට් ක්‍රීඩාවකට සහභාගී වීම තහනම් කර ඇති බවයි. 

පාකිස්තානයේ හිටපු නායක සර්ෆරාස් අහමඩ් මෙම සිදුවීම් සඳහා මෑත කාලීන ප්‍රමුඛ උදාහරණයකි. ඩර්බන් නුවර පැවති එක්දින තරගයක දී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩිලේ ෆෙලුක්වායෝ හට ජාතිවාදී ප්‍රකාශයක් කළ බව පිළිගත් සර්ෆරාස්ට පසුගිය ජනවාරි මාසයේ දී තරග හතරක තරග තහනමක් පැනවිය. 

විස්සයි විස්ස ලෝක කුසලාන අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගයේ දී උගන්ඩාවේ ක්‍රීඩකයින් වෙත යොමු කරන ලද නුසුදුසු ප්‍රකාශයක් හේතුවෙන් නැම්බියාවේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස්ටි විල්ජොයින්ට පසුගිය ජුනි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඬුවම් නියම කරන ලදී. 

මේ වන විට ප්‍රමුඛ පෙළේ රූපවාහිනි විචාරකයෙකු වන හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නෙකු වන ඉයන් බිෂොප් ද මේ සම්බන්ධයෙන් twitter පණිවුඩයක් නිකුත් කළේය. ඔහු කියා සිටියේ ලෝකය වර්තමානයේ දී වේදනාවෙන් පවතින අතර ඒ සඳහා සුවය හා උපකාර අවශ්‍ය බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<