මාරිස්ටෙලාව සිරිකුරුසයේ ආරක්ෂක බැම්ම ළඟ නවතියි

558
school foot ball stella v holy cross

19න් පහල පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟ ද්විත්වය අද (19) මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ප්‍රථම තරඟය මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජයගත්තේ කළුතර සිරිකුරුස විදුහලයි.

අවු. 19න් පහළ 1 කාණ්ඩයේ අවසන් පූර්ව තරඟයට පෙර විමසුම

ගියවර ශූරතාව දරා සිටින මාරිස්ටෙලා විද්‍යාලය හා පසුගිය වර අනුශූරයන් වූ හමීඩ් අල් හුසේන් විද්‍යාලයම මෙවරද අවසන් මහා තරඟයේදී දහසක් දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් තරඟ වැදීමට අවස්තාව තිබුනද, අවසන් මහා තරඟයට පෙරාතුව මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරඟ වලදී පිළිවලින් සිරිකුරුස විද්‍යාලය හා ශා.ජෝශප් විද්‍යාලය සමඟ තරඟ වැදිය යුතුය.

මාරිස්ටෙලා විද්‍යාලය පෙර වසරේ ශූරයන් ලෙස අභිමානයෙන් තරඟයට එක්වුවත්, ඔවුන්ගෙන් ලද අභියෝගයන් සාර්ථකව මැඩලන්නට සිරිකුරුස විදුහල සමත් විය.

ප්‍රථම අර්ධය ආරම්භ වී මිනිත්තුවක් ඉක්මයත්ම සිරිකුරුස විදුහලට නිදහස් පහරක් ලැබුණු අතර එය කෙලින්ම ගෝලය තුළට එල්ල කරන්නට කෙවින් නිර්මාල් සමත් වීමත් සමඟ තරඟයේ පෙරමුණ ගන්නට සිරිකුරුස විදුහල සමත් විය.

පසුව දිගු පහරවල් කරා එළඹුණු කණ්ඩායම් දෙකම තරඟකාරීව ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. මාරිස්ටෙලා විදුහලේ ගෝල රකින ක්‍රීඩක උමේෂ් සංජය වෙත සිරිකුරුස ක්‍රීඩකයන්ගේ තර්ජනය දැඩිව දැනෙන්නට විය.

17 වන මිනිත්තුවේදී මාරිස්ටෙලා ගෝලයේ වම් කෙළවර වෙත පහරක් එල්ල කිරීමට නිසල් තරිඳු සමත් වූවත්, උමේෂ් එය සාර්ථකව නවතා ගන්නට සමත් විය. එනමුත් 18 වන මිනිත්තුවේදී නැවතත් මාරිස්ටෙලා ගෝලය ආක්‍රමණය කළ නිර්මාල් උදාර, සිරිකුරුසය තවත් ඉදිරියට ගෙන ගියේය. එය තරඟාවලිය තුළ ඔහු විසින් ලබා ගත් 10 වන ගෝලයයි.

පසුව කලබලකාරී වූ මාරිස්ටෙලා ක්‍රීඩකයන් දිගු පහරවල් වලින් ගෝල ලබා ගැනීමට උත්සාහ කළත්, ඒ සියල්ල ව්‍යර්ථ වී ගියේ සිරිකුරුස ආරක්ෂකයන් ශක්තිමත් බැම්මක් සේ තම ගෝලය ආරක්ෂා කල නිසාවෙනි.

ප්‍රථම අර්ධය – කළුතර සිරිකුරුස විද්‍යාලය 2-0 මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේදීත් සිරිකුරුස ක්‍රීඩකයන් තම ආක්‍රමණකාරී ක්‍රීඩා රටාව දියත් කළේය. 48 වන මිනිත්තුවේදී ඔවුන් ලද පහසු අවස්ථාවක් ගිලිහී ගියේය. තරඟයේ 70වන මිනිත්තුව පසුවෙද්දීත් දෙවන අර්ධය තුළ මාරිස්ටෙලා ක්‍රීඩකයන් විසින් ප්‍රතිවාදී ගෝලය වෙත කිසිදු පහරක් එල්ලකොට තිබුණේ නැත.

74 වන මිනිත්තුවේදී මාරිස්ටෙලා කණ්ඩායම වෙත නිදහස් පහරක් ලැබිණි. එහිදී ලැබුණු සාර්ථක යොමුවක් හිසින් ගෝලය තුළට පතිත කළ මාරිස්ටෙලා නායක අංජන ගුණවර්ධන, මාරිස්ටෙලා විදුහලේ බලාපොරොත්තු දල්වන්නට සමත් වූවත්, තරඟය අවසාන වන තෙක් මාරිස්ටෙලා කණ්ඩායමට නැවත අවස්ථාවක් ලබා නොදීමට සිරිකුරුස ක්‍රීඩකයන් වගබලා ගත්තේය.

ඒ අනුව 19න් පහල පාසල් පාපන්දු තරඟාවලියේ පළමු කාණ්ඩයේ අවසන් තරඟය වෙත පියමන් කරන්නට සමත් වූයේ, කළුතර සිරිකුරුස විද්‍යාලීය ක්‍රීඩකයන්ය.

සම්පුර්ණ කාලය – කළුතර සිරිකුරුස විද්‍යාලය 2-1 මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

කළුතර සිරිකුරුස විදුහල – කෙවින් නිර්මාල් 2′ , නිර්මාල් උදාර 18′.
මීගමුව මාරිස්ටෙලා විදුහල – අංජන ගුණවර්ධන 74′.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට