ශ්‍රී ලංකාව ආසියාවේ අනුශූරයින් ලෙස කිරුළු දිනයි

19න් පහළ ආසියානු කුසලානය 2021

3571
ACC

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 9කින් ජය ගත් ඉන්දියාව අද (31) නැවත වතාවක් ආසියානු 19න් පහළ ක්‍රිකට් ශූරයින් බවට පත් වුනා. ඒ ශ්‍රී ලංකාව අනුශූරයින් බවට පත් කරමින්.

ඒ අනුව 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 8 වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් පාකිස්තානය සහ බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තීරණාත්මක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඩුබායි හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ නමුත් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 106ක් පමණයි.

අවසන් පූර්ව තරගයේ දී මෙන් මේ තරගයේ දීත් ශ්‍රී ලංකා පිතිකරුවන් නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් තරගයේ මුල සිටම අමතර පීඩනයක් සිය හිස මතට පතිත කර ගත්තා.

එය අමතර වාසියක් කර ගත් ඉන්දීය පන්දු යවන්නන් ද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය තවදුරටත් පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කළ අතර ඉන්දීය කණ්ඩායමේ පන්දු රැකීම ද ඉහළ මට්ටමක තිබුණා.

ශ්‍රී ලංකා ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 38කට සීමා කිරීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර යසිරු සහ මතීෂ නැවත වරක් ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරමින් ශ්‍රී ලංකා ලකුණු සටහනේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත් වුනා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Vicky Ostwal ලකුණු 11කට කඩුලු 3ක් දවාගෙන දස්කම් දක්වන විට Kaushal Tambe ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 32ක් තුල ලකුණු 102ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 21කුත් පන්දු 3ක් තුල සපුරා ගත්තා. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය එකම කඩුල්ල ලෙස තරගාවලිය පුරාවට ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ Harnoor Singhගේ කඩුල්ල දවා ගැනීමට යසිරු සමත් වුනේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගෙනයි.

ඉන්පසුව පිටියේ එක් වූ Raghuvanshi සහ Rasheed දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 96ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් මේ තරගය පහසුවෙන්ම ජය ගැනීමට හැකි පසුබිම ඉන්දියාවට සකස් කර දුන්නා.

දක්ෂ පිතිකරණයක නිරත වුනු දකුණතින් පිතිකරණයේ නිරත වන Raghuvanshi 4 පහර 7ක් එල්ල කරමින් පන්දු 67ක දී නොදැවී ලකුණු 56*ක් ලබා ගත්තා. අනෙක් අන්තයෙන් ඔහුට සහය වුනු Rasheed නොදැවී ලකුණු 31*ක් ලබා ගත්තා. Rasheedගේ ඉනිමට මනරම් 4 පහර 2ක් අන්තර්ගත වුනා.

ශ්‍රී ලංකාව – 106/9 (38): යසිරු රොද්‍රිගෝ 19*, මතීෂ පතිරණ 14, සදීෂ රාජපක්ෂ 14, Vicky Ostwal 3/11, Kaushal Tambe 2/23.

ඉන්දියාව – 104/1 (21.3): Angkrish Raghuvanshi 56*, Shaik Rasheed 31*, යසිරු රොද්‍රිගෝ 1/12.

ඒ අනුව ශ්‍රී ලංකාව 5 වැනි වරටත් අනුශූරතාවය දිනා ගනිමින් මෙවර 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා කළා. එළඹෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 සිට පෙබරවාරි 5 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<