සාන්ත ජෝසප් සහ සාන්ත පැට්‍රික් විද්‍යාල අවසන් මහා තරගයට

373
U18 division I Schools

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (25) මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

පළමු අවසන් පූර්ව තරගය: සාන්ත ජෝසප් විද්‍යාලය – සහිරා විද්‍යාලය

කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටයේ දී සහභාගී වූ තරග ගෝල 4-0ක් වශයෙන් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ අනුව මෙය ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි අනුමාන කෙරිණ.

තරගය ආරම්භයේ පටන් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් මැනවින් පන්දුව හුවමාරු කරමින් එය ඉදිරියට රැගෙන යාමට උත්සාහ කළ අතර අනෙක් පසින් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථා හරහා ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් කණ්ඩායම් දෙකම පන්දුව ප්‍රතිවාදී අර්ධය වෙත රැගෙන යමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූවත්, තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කර ගැනීම සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට කණ්ඩායම් දෙකම අපොහොසත් විය.

සාන්ත ජෝසප්, සහිරා, සාන්ත පැට්‍රික් සහ සාන්ත පීතර අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ…

පළමු අර්ධයේ මැද භාගය වන විට ගෝල ලබා ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගන්නට කණ්ඩායම් දෙකම සමත් වූ නමුත් ඒවා සාර්ථක කර ගනිමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කිරීම සඳහා අවශ්‍ය අවසන් පහර නිසි පරිදි එල්ල කිරීමට කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් අසමත් වීම නිසා එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

කෙසේ නමුත් තරගයේ 34 වන මිනිත්තුවේ දී ඉක්මන් අවස්ථාවක් හරහා සාන්ත ජෝසප් විද්‍යාලයේ අසේල මදුෂාන් පිටියේ මැද භාගයේ සිට සිය කණ්ඩායමේ නායක ජේ. එන්. ප්‍රනාන්දු වෙත පන්දුව යොමු කළ අතර ඔහු පන්දුව මැනවින් ඉදිරියට රැගෙන යමින්, එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගන්නට සමත් විය.

ඉන් අනතුරුව සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය අවසන් වන්නට පෙර ගෝල රාමුව ආසන්නයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෙකුගේ අතේ පන්දුව වැදීම නිසා ඔවුන්ට දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. එය ලබාගත් සහිරා නායක එම්. මුර්ෂිඩ් එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.   

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 01 – 01 සහිරා විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමට යොමු වීම නිසා එය වඩාත් තරගකාරී ස්වරූපයක් ගත්තේය. කෙසේ නමුත් දෙවන අර්ධයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් වූයේ සහිරා විද්‍යාලය යි. තරගයේ 50 වන මිනිත්තුව තුළ වාර්තා වූ එම ගෝලයේ හිමිකරුවා වූයේ එන්. එම්. නසූර්දීන් ය.

අනතුරුව සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගත්තත් ඒවා සාර්ථකව අවසන් කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. නමුත් නැවත වරක් ක්‍රියාත්මක වූ ඔවුන්ගේ නායක ජේ. එන්. මදුෂාන් තරගයේ 61 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපයත් ගිලිහුණු අවස්ථාවන් සමඟින් ගෙවී ගිය අතර තරගයේ සාමාන්‍ය කාලය අවසන් වන්නට මිනිත්තුවකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පී. එල්. එන්. එස්. කුරේ ගෝලයක් වාර්තා කර ගනු ලැබුවේ තරගයේ ජයග්‍රහණය බොහෝ දුරට තහවුරු කර ගනිමිනි. ඉන් අනතුරුව ද ඔවුන් තවත් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එහි දී ‘off side’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා එම ගෝලය ඔවුන් වෙත පිරිනැමුණේ නැත.

පසුව තරගය අවසන් වන්නට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපයට ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් ලැබුණු අතර ඒ හරහා ලැබුණු පන්දුව එම්. මුර්ෂිඩ් විසින් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ තරගය තුළ සිය දෙවන ගෝලය වාර්තා කර ගනිමින් තරගය දඬුවම් පහර වටයට ද රැගෙන යමිනි.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 03 – 03 සහිරා විද්‍යාලය

තරගයේ අවසන් තීරණය ලබා ගැනීම සඳහා පැවති දඬුවම් පහර වටය පහරවල් 7ක් දක්වා ඇදී ගිය අතර අවසානයේ එම වටය දඬුවම් පහර 4-3ක් වශයෙන් ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – ජේ. එන්. ප්‍රනාන්දු 34’ සහ 61’, පී. එල්. එන්. එස්. කුරේ 79’
  • සහිරා විද්‍යාලය – එම්. මුර්ෂිඩ් 43’ සහ 80+3’, එන්. එම්. නසූර්දීන් 50’

දෙවන අවසන් පූර්ව තරගය: සාන්ත පීතර විද්‍යාලය – සාන්ත පැට්‍රික් විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව වටයේ දී සාන්ත පීතර විද්‍යාලය ගෝල 2-0ක් ලෙස මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයත්, සාන්ත පැට්‍රික් විද්‍යාලය ගෝල 2-1ක් ලෙස කින්නියා මධ්‍ය මහා විද්‍යාලයත් පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය.

තරගය ආරම්භයේ පටන් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර අනෙක් පසින් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන අතරතුර ඉක්මන් අවස්ථාවන් හරහා ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරීය. ඒ අනුව තරගයේ පළමු මිනිත්තු කිහිපය තුළ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය වන විට සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව ඔවුන් ද ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගන්නට සමත් වුවත් ඒවා සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 00 – 00 සාන්ත පැට්‍රික් විද්‍යාලය

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ තරගයට අවතීර්ණ වූ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී ද ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබීය. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයකින් අනතුරුව ඔවුන් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එහි දී ‘off side’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියේය.

අනතුරුව තරගයේ 60 වන මිනිත්තුවේ දී සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවක් ලැබුණු අතර ඒ හරහා ඔවුන් ඉදිරියට යොමු කළ පන්දුව ඉවතට යොමු කරන්නට සාන්ත පීතර විද්‍යාලයීය ආරක්‍ෂක ක්‍රීඩකයින් අසමත් විය. ඒ අනුව එහි දී පන්දුව ලබා ගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලයීය නායක එස්. අබීෂන් සමත් වූ අතර ඔහු පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

පසුව සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් සියලු දෙනා ඉදිරියට ඇදෙමින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත්, ලැබුණු අවස්ථාවන් සාර්ථකව අවසන් කර ගන්නට ඔවුන් අපොහොසත් විය. අනෙක් පසින් සාන්ත පීතර ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීම් හරහා සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් හට ඉක්මන් අවස්ථාවන් ඔස්සේ ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඔවුන් ද ඒවා සාර්ථක කර ගැනීමට අපොහොසත් විය.

සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් තත්පරය දක්වාම ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන් ගත් උත්සාහය දියත් කළ නමුත් ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් සහ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කරමින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත පීතර විද්‍යාලය 00 – 01 ශාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල ලාභීන්

  • සාන්ත පැට්‍රික් විද්‍යාලය – එස්. අබීෂන් 60’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<