බ්‍රැන්ඩික්ස් සහ ඔමේගා ලයින් ශූරතාවයන් දිනයි

458
Mercantile

ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ “A” කාණ්ඩයේ අවසන් තරඟ යුගලය, අද (25) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එහිදී පිරිමි අංශයේ ශූරතාවය බ්‍රැන්ඩික්ස්-ඕපනායක කණ්ඩායම විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශූරියන් බවට පත්වූයේ ඔමේගා ලයින් කණ්ඩායමයි.

පසුගිය ලිපි: වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය අද සහ අනිද්දා

කාන්තා අංශය

“A” කාණ්ඩයේ කාන්තා අංශයේ අවසන් තරඟයට ඔමේගා ලයින් කණ්ඩායමත් මැලිබන් කාන්තා කණ්ඩායමත් එක්ව සිටියේය.

තරඟයේ ප්‍රථම වටයේ සිටම මැලිබන් ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔමේගා ලයින් ක්‍රීඩිකාවන් විසින් 25-17, 25-16 සහ 25-11ක් වශයෙන් තරඟය ජයගන්නා ලදී.

එහිදී ඔමේගා ලයින් නායිකා ප්‍රබෝධා තිලකරත්න කැපීපෙනෙන දක්ෂතා දැක්වූ අතර ඇයට මනා සහයක් ලබා දෙමින් කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩිකා උරේෂා සඳමාලි ද දක්ෂතා ප්‍රදර්ශනය කළාය. මැලිබන් කණ්ඩායම වෙනුවෙන් යම් දක්ෂතාවක් හෝ ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ නදීෂා ලක්මාලි ය.

චන්න ජයසේකර මහතා විසින් ඔමේගා ලයින් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ අතර ජයසිරි පෙරේරා මැලිබන් කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දී තිබුණි. “A” කාණ්ඩයේ ශූරතාවයත් සමඟින් ඔමේගා ලයින් කණ්ඩායම ලබන වසරේදී චැම්පියන්ස් කාණ්ඩයේ ඉඩකඩ වෙන්කරගනු ඇත.

පිරිමි අංශය

වෙළඳසේවා “A” කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රැන්ඩික්ස්-ඕපනායක කණ්ඩායමත්, ඩේවිඩ් පීරිස් කණ්ඩායමත් පිරිමි අංශයෙන් අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබා තිබුණි. තරඟය වට පහක් දක්වා ඇදී ගියේ උද්වේගකර අයුරිනි.

ප්‍රථම වටයේ ජය හිමිවූයේ ඩේවිඩ් පීරිස් කණ්ඩායමටයි. ඒ 25-22ක් ලෙසිනි.

දෙවන වටයද තරඟකාරී වූ අතර එහිදී 25-21ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ බ්‍රැන්ඩික්ස් කණ්ඩායමයි.

යළිත් තෙවන වටයේ ජය හිමිකර ගන්නට ඩේවිඩ් පීරිස් කණ්ඩායම සමත් වූයේ 25-23ක් ලෙසිනි.

සිව්වන වටය 25-19ක් ලෙස බ්‍රැන්ඩික්ස් කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟ අලංකාර පස්වන වටයක් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවිය. කෙසේවෙතත් අවසානයේදී පීඩනය පාලනය කරගත් බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයන් 17-15ක් ලෙස එම වටයත් ජයගනිමින් වෙළඳසේවා “A” කාණ්ඩයේ වොලිබෝල් ශූරයන් බවට පත්වූ අතර ලබන වසරේදී ඔවුන්ද තරඟ වදිනු ඇත්තේ චැම්පියන්ස් කාණ්ඩයෙනි.

තරඟයෙන් පසුව අදහස් දැක්වූ හිටපු ශ්‍රී ලංකා බීච් වොලිබෝල් තරුවක් වන, අද බ්‍රැන්ඩික්ස් කණ්ඩායමේ පුහුණුකරු වන මහේෂ් පෙරේරා ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ මෙසේයි.

“මූලික තරඟවලින් පසු අවසන් තරඟය සඳහා අපි පුහුණු වුණේ දවස් තුනක් පමණයි. ආයතනයෙන් මීට වඩා සහයක් ලබා දෙනවා නම් අපට ඊළඟ වසරේ තව දක්ෂතා පෙන්වන්නට පුළුවන් වේවි. ගොඩක් අභියෝග මැදයි මේ ජයග්‍රහණය ලැබුවේ.”

අනුශූරයන් බවට පත්වූ ඩේවිඩ් පීරිස් කණ්ඩායමේ පුහුණුකරු සංජය පෙරේරා දැක්වූයේ මෙවන් අදහසකි.

ලිබරෝ කෙනෙක්වත් නැතිවයි මේ දක්වා ආවේ. මේ හැමෝම අපේ ආයතනයේ වැඩ කරන ළමයි. පිටින් ගත් අය අපේ කණ්ඩායමේ නැහැ. මගේ දාඩිය මහන්සිය අපතේ ගියේ නැහැ.”

තරඟාවලියෙන් අනතුරුව තවත් එක් විශේෂ පුද්ගලයෙකුද ThePapare.com සමඟින් අදහස් දැක්වීමට එක්විය. ඒ ශ්‍රී ලංකා වෙළඳසේවා වොලිබෝල් සංගමයේ ගරු සභාපති කර්නල් සුජිත් ජයසේකර මහතා යි.

“මේ අපි පස්වන වරට පවත්වන තරඟාවලිය. මේ තරඟාවලිය නිසා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයකට රැකියා ලැබුණා. ක්‍රිකට් තරම් වොලිබෝල් ප්‍රචලිත නැතත් වෙළඳසේවා තරඟාවලිය නිසා අප ලබා ගත් හොඳම ප්‍රතිඵලය එයයි .පැරණි වොලිබෝල් නායකයෙකුත්, නායිකාවකුත්, විනිසුරුවන් කිහිප දෙනෙකුත් එකතුකරගෙන ඔවුන්ට ගෞරව දක්වන වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.”

මීළඟ වසරේ තරඟාවලිය කෙබඳු වේදැයි යන වගටද ඔහු ඉඟියක් ලබා දුන්නේය.

“මීළඟ වසරේදී කණ්ඩායම් ගණන වැඩිකරන්න බලාපොරොත්තුවක් නැහැ. ආයතනයකින් පමණක්ම පෝෂණය වෙන කණ්ඩායම් කිහිපයකින් හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්න තමයි බලාපොරොත්තුව. නැත්නම් අනෙක් කණ්ඩායම් වලින් මුදලට ක්‍රීඩකයන් ගැනීම සිදුවිය හැකියි. කණ්ඩායම් ගණන අඩු වුණාම ඒක කරන්න බැහැ.”  

ඔහුගේ අදහස්ද සමඟින් දිනය නිමාවූයේ  “A” කාණ්ඩයේ වෙළඳසේවා ශුරතාවයන් බ්‍රැන්ඩික්ස්-ඕපනායක කණ්ඩායමටත් ඔමේගා ලයින් කණ්ඩායමටත් හිමිකර දෙමිනි.

කෙසේවෙතත් වෙළඳසේවා තරඟාවලියෙන් දක්ෂයින් බිහිවන බවට හොඳම නිදසුන වන්නේ හෙට (26) පැවැත්වෙන මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ කාන්තා අවසන් තරඟයට ක්‍රීඩා කරන කැෂුවල් ලයින් කණ්ඩායමයි.

වෙළඳසේවා තරගාවලියේ තවත් අවසන් තරග කිහිපයක් 27 වැනිදා මහරගම දී පැවැත්වීමට නියමිතයි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට