පළමු ටෙස්ට් තරගයේ පරාජයට හේතුව මැතිව්ස් පැහැදිලි කරයි

988
Angelo Mathews faults shot selection after first Test loss
AFP

දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 206ක පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පිතිකරුවන් නිවැරදිව තෝරා බේරා ගැනීමෙන් තොරව පන්දුවට පහර එල්ල කිරීම තරග පරාජය සඳහා බලපෑ ප්‍රධාන වරදක් බවයි.

පසුගිය ලිපි:  ප්‍රථම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවන්ට

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් හී ශාන්ත ජෝජ් පාක් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු මේ තරගයේ අවසන් ඉනිමේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 488ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ අතර අවසන් දින උදෑසන වරුව තුලදී ශ්‍රී ලංකා කාණ්ඩායමේ අවසන් පිතිකරුවා දැවී යන විට  ඔවුන් ලබාගෙන තිබුනේ ලකුණු 281ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකාවේදී සහභාගී වූ 11 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී 9 වැනි පරාජයටද මුහුණ දෙන්නට ඔවුන්ට සිදු විය.

‘මම හිතන විදිහට මෙවැනි තණ තීරු වල සහ මෙවැනි පන්දු යවන්නන්ට එරෙහිව ක්‍රීඩා කරන විට පිතිකරුවන් සෑම පන්දුවකටම එල්ල කල යුතු පහර නිසි පරිදි තෝරා බේරා ගැනීම ඉතාමත් වැදගත් වනවා. ඒ සඳහා ඉතා ඉහල මානසික ඒකාග්‍රතාවක් රඳවා ගත යුතුයි. ඒ වගේම මෙවන් පන්දු යවන්නට එරෙහිව ලකුණු රැස් කිරීමත් ඉතාම අසීරු කටයුත්තක්. ලකුණු ලබා ගැනීම සඳහා අවස්ථා ලැබෙන්නේ ඉතා කලාතුරකින්. සමහර වෙලාවට පිතිකරුවන් ලෙස අපි ලකුණු ලබා ගැනීම සඳහා දුර්වල පන්දුවක් ලැබෙන තුරු සිටියත් එවැනි පන්දු බොහෝ වෙලාවක් ගතවන තුරු ලැබෙන්නේ නැහැ. එක තමයි ටෙස්ට් ක්‍රීඩාවේ ස්වභාවය.” තරගයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මැතිව්ස් පැවසීය.

පළමු දිනයේ දිවා ආහාරයෙන් පසු සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු යවන්නන් ඉතා අගනා දස්කම් දක්වමින් දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286කට සීමා කරන්නට සමත් විය. කෙසේ වෙතත් එම උත්සාහයට වටිනාකමක් එක් කරන්නට අසමත් වූ පිතිකරුවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිම සඳහා රැස් කර ගන්නට හැකිවුණේ ලකුණු 205ක් පමණයි. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 83ක වාසියක් හිමි විය.

”ටෙස්ට් තරගයකදී පළමු ඉනිමේ ලකුණු වාසියක් ලබා ගැනීම හෝ ප්‍රතිවාදීන් සම කිරීම ඉතාමත් වැදගත්. ප්‍රතිවාදීන් හට පළමු ඉනිමේ ලකුණු වාසියක් ලබා දුනහොත් නැවත තරගයේ පාලනය අත්කර ගැනීම ඉතා අපහසුයි. මම හිතන්නේ අපි දෙවන ඉනිමේදීත් ඉතා අනවශ්‍ය පහරවල් එල්ල කළා. එය තමයි අපේ අසාර්ථකත්වයට හේතුව. ඇත්ත වශයෙන්ම ඔවුන් ඉතා හොඳින් පන්දු යැවුවා, නමුත් අනවශ්‍ය පහර එල්ල කිරීමෙන් ඒ වගේම දුවද්දී දැවීයාමක් මගින් අපි කඩුලු පූජා කළා කිවුවොත් නිවැරදියි.”

දෙවන ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කල කුසල් මෙන්ඩිස් පිළිබඳව සහ ඔහු පිතිකරණයට අවතීර්ණ වන ආකාරය පිළිබඳව මැතිව්ස් පළ කළේ ඉතා ධනාත්මක අදහසක්. ‘ අවසානයේ දැවී යාම සඳහා එල්ල කළ පහර හැරුණු විට කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දුන් ආකාරය විශිෂ්ටයි. ඔහු ඉතා ධනාත්මක හැඟීමෙන් ක්‍රීඩා කළා වගේම පන්දු යවන්නන්ට අභියෝගයක් වන පහර එල්ල කරන්නටද පසුබට වුනේ නැහැ. එය අපිට සුබ ලකුණක්. මෙවන් අසීරු තත්ත්වයන් යටතේ වුවත් අපි පසු බැසිය යුතු නැහැ. කෙතරම් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවත් අපි ලකුණු ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි.”

මෙම තරගයේදී දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නන් ප්‍රකට කල දක්ෂතා අනුව බලන කල ඉදිරි තරග සඳහාද බලාපොරොත්තු විය හැක්කේ වේග පන්දුවට වාසි දායක තණකොළ සහිත වඩාත් කොළ පැහැති තණතීරුයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (සෙනසුරාදා) කේප් ටවුන් බලා පිටත්ව යන අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ නිවුලන්ඩ්ස් ක්‍රීඩාංගනයේදීයි. ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගනය තෙවන සහ අවසන් ටෙස්ට් තරගයට සත්කාරකත්වය සපයයි.

තරගාවලියේ ඉදිරි තරග වලදී වේග පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බවට තමන් තුල විශ්වාසයක් ඇති බවද නායක මැතිව්ස් පවසයි. ” සුරංග ලක්මාල් මේ තරගයේදීත් ඉතා හොඳින් පන්දු යැවුවා. ඒ වගේම අපි හැමෝම දන්නවා නුවන් ප්‍රදීප් කෙතරම් දක්ෂතා තිබෙන පන්දු යවන්නෙක්ද යන වග. චමීර ආබාධය හේතුවෙන් තරමක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමෙන් පසුවයි යලි පැමිණ තිබෙන්නේ. පන්දුව දෝලනය වන විට ඔවුන්ට පුළුවන් ඉතා හොඳ පාලනයකින් යුතුව පන්දු යවලා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරන්න.”

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට