පානදුරේ සිට නවෝද් සොයා ගාලු ආ යොවුන් වීරයා – දිනුර

2124

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ සුපිරි පළාත් යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූයේ ගාල්ල කණ්ඩායමේ දිනුර කළුපහන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරෙමින්.

තරගාවලියට එක් වෙද්දී ම ලොකු බලාපොරොත්තුවක් තිබුණා විශේෂ දක්ෂතා දක්වන්න ඕන කියලා. All Rounder කෙනෙක් විදිහට මගෙන් ඒ දේ කණ්ඩායම බලාපොරොත්තු වුනා කියන හැඟීමකුත් තිබුණා. ඒ නිසා හැම තරගයක් ම හොඳින් කරන්නයි මට අවශ්‍ය වුනේ. සිතූ ලෙස ම ලකුණු අතරට එන්න හැකි වුනා. පන්දු යවන්නෙක් ලෙසිනුත් යම් තරමකට සාර්ථක වුනා. ඒ පැත්තෙන් තව ටිකක් දක්ෂතා දක්වන්න පුළුවන් වුනා නම් හොඳයි කියල හිතෙනවා. කොහොම නමුත් ලැබුණ අවස්ථාව ගැනත් දක්වන්ට ලැබුණ දක්ෂතා ගැනත් සතුටු වෙනවා,” දිනුර ThePapare.com සමඟ කතා බහට එක් වුනේ ඒ ආකාරයෙන්.

දිනුර මෙම තරගාවලියේ දී තරග 4කට ක්‍රීඩා කරමින් පිතිකරුවෙක් ලෙසින් මහනුවර එරෙහිව ලකුණු 73ක් සහ දඹුල්ලට එරෙහිව ලකුණු 61ක් ලෙසින් ලකුණු 202ක් ලබා ගන්නවා. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු සතු වෙන කඩුලු ප්‍රමාණය 4ක්.

දිනුර මහ හා පියා සමඟ

දිනුරගේ පියා, දිනේෂ් කළුපහන, ගම ගාල්ලේ. මව එරන්දි ෆොන්සේකා පානදුරේ. පියා සේවය  කළේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ. මේ අයගේ පදිංචිය පානදුරේ.

පියා ජාතික පාසල් මීටර් 800 සහ 1500 ඉසව්වන් හී ජයග්‍රාහකයෙක්. ඒ ක්‍රීඩා ඇම්ම නිසා ම ජාතික ක්‍රීඩා අධ්‍යාපනය ආයතනයේ ක්‍රීඩා ඩිප්ලෝමාධාරියෙක් ලෙසින් ද කලඑලි බසිනවා.

ඒත් ඉතිං දිනේෂ්ගේ ජීවිතය ම ක්‍රිකට්. ඔවුන්ගේ පවුලට එක් වෙන්නේ කවුද, ඔහු හෝ ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න මේ දෙමාල්ලෝ කතිකා කරන්නේ දිනුර කලල අවස්ථාවට පිවිසීමටත් පෙර. ක්‍රිකට් නිසා ම ඔවුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ කොල්ලෙක්ට.

කලල අවස්ථාවේ දී එරන්දි බබාට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් සකසද්දී, දිනේෂ් සැකසුවේ ඉපදෙන බිළිඳා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න අවශ්‍ය පසුබිම. බිළිඳාට පේන මානයේ ක්‍රිකට් බැට්, බෝල සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිංතූර ද ඒ අතර වුනා. කතාබහත් ක්‍රිකට් ම තමයි.

ඔවුන් පැතූ ලෙස ම ඔවුන්ගේ පවුලට එක් වෙන්නේ පිරිමි පරානයක්. ඔහු දිනුර.

පුතා ඉපදිලා අවුරුදු 5ක් විතර යනකල් ඉවසිල්ලක් නැතිව හිටියේ පුතා ව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න. අවුරුදු 3-4 දී ක්‍රිකට් පුහුණු පාසලකට දාන්න උත්සාහ කළත්, කුඩා වැඩියි කියල ගත්තේ නෑ. පස්සෙ යන්තම් අවුරුදු 5 පිරීගෙන එනකොට ම පුතාව පානදුර ක්‍රිකට් සමාජ Junior Academyට දැම්මා. පුතාගෙ මුල් ම පුහුණුකරු වුනේ ජී. රණසිංහ මහතා. ඊට පස්සෙ සුනෙත් ගයාන් මහතා,” දිනුරගේ පියා දිනේෂ් කළුපහන ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා.

පවුලේ එක ම දරුවා වූ දිනුර පාසල් ගියේ පානදුර රාජකීය විද්‍යාලයට. එම පාසල තෝරා ගැනීමට හේතු වන්නේත් ක්‍රිකට්. ඔහුගේ පළමු පාසල් ක්‍රිකට් පුහුණුකරු සුමිත් ප්‍රසන්න මහතා. ඔවුන්ගෙන් ලැබූ පුහුණුවීම් හේතුවෙන් කුඩා දිනුර කෙමෙන් කෙමෙන් ක්‍රිකට් ඇකඩමියේ සේ ම පාසලේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වුනා.

දිනුරට වයස අවුරුදු 9ක් වූ 2014 වසරේ දී වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පානදුර රාජකීයයේ ආරම්භක දකුණත් වේගපන්දු යවන්නා සහ ආරම්භක පිතිකරු ලෙසින්. එම අවුරුද්දේ ඔහු තරග 5කට ක්‍රීඩා කරමින් ලකුණු 125ක් ද පන්දු යවමින් කඩුලු 10ක් දවා ගන්නවා.

13න් පහළ ක්‍රීඩා කරන ලද දෙවැනි වසර වූ 2015 දී ඔහු ක්‍රීඩා කරන්නේ දෙවැනි කොටසේ තරගාවලියට. ඔහු එම වසරේ දී මොරටුව ජනජය විද්‍යාලයට එරෙහිව පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 107ක් ලබා තම ක්‍රිකට් ජීවිතයේ මංගල ශතකය වාර්තා කරනවා. ඊට අමතර ව තවත් අර්ධ ශතක 3ක් ද සමඟින් ලකුණු 400කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දක්ෂතා දක්වන්නට සමත් වෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන දිනුර එම වසරේ දී ලබා ගන්නා ලද කඩුලු ප්‍රමාණය 20කට අධිකයි.

2016 වසරේ දී දිනුර රාජකීය විද්‍යාලයීය පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඒ අනුව එම කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව සටනට පිවිසි දිනුර ශතකයක් සමඟින් ලකුණු 450කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නවා. කොට්ටාව ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහි ව පන්දු 157ක දී හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු 147 ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙනවා.

දිනුර සහ නවෝද් එකම කණ්ඩායමේ සාමාජිකයන් වෙමින්

2017 වසරේ දී සිව්වැනි වසරට පිටියට පිවිසෙන දිනුරට එතරම් ම දක්ෂතා අතරට පිවිසීමට හැකි වන්නේ නැහැ. එවර ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 220කට ආසන්න ප්‍රමාණයක් ද සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 10ක් ද ලෙසින් ලබා ගන්නවා.

අපි පානදුරේ හිටියත් ගාලු බිග්මැච් එක බලන්න හැම අවුරුද්දක ම යනවා. පුතා පුංචි කාලේ සිට ම ගාලු ක්‍රීඩාංගණයට ගොඩාක් කැමැතියි. කවද හරි දවසක ගාල්ලෙ මැච් එකක් ගහන්න ඕන කියල පුංචි දවස්වල අනන්තවත් කිව්වා. ඔය අතර නවෝද් පරණවිතාන සෙල්ලම් කරනවා දැකල, එයත් එක්ක බිග්මැච් එකක් ගහන්න ආසයි කියල කියන්න ගත්තා. මේ දවස්වල පුතා 13න් පහළ දක්ෂතා දක්වමින් සිටියේ. කොළඹ පාසල් කිහිපයක් ම පුතා ඉල්ලලත් තිබුණෙ. මගෙත් ආසාව තිබුණා හොඳ පහසුකම් තියෙන කොළඹ පාසලකට පුතාව ඇතුළත් කරන්න. ඒත් ඉතිං පුතාගෙ තේරීම වුනේ මහින්දෙ. ඒකට නවෝද් ද හේතු වුනා. මගෙත් පාසල මහින්දෙ නිසා අපි පානදුරේ අතහැරලා ගාල්ලට පදිංචියට ආවා,” දිනේෂ් කළුපහන නැවත සිය මතකය අවදි කළා.

දිනුරගේ මේ තෝරා ගැනීම නිසා දිනේෂ් ද තම රැකියාවෙන් ස්ථාන මාරුවක් ලබා ගන්නවා. ගම ගාල්ලේ වුවත් දිනුරගේ පාසල් සහ පුහුණුවීම්වලට යාම්-ඊම් පහසුව උදෙසා පාසල ආසන්නයෙන් ම ගෙයක් බද්දට ගන්නට ඔවුන් කටයුතු කරනවා.

පානදුර රාජකීයයේ සිට ගාල්ල මහින්දයට ආ දිනුරගේ ගාලු මුල්ම පුහුණුකරු වෙන්නේ ධනුශ්ක දෙනගම මහතා. ඔහු යටතේ වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ කණ්ඩායමට පිවිසෙන දිනුර එම අවුරුද්දේ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 662ක් ලබා ගනිමින් පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ දී දක්ෂතම පිතිකරු අනුශූරතාව දිනා ගන්නවා. පන්දු යවන්නෙක් ලෙසින් ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 20ක්.

19න් පහළ එක්දින ශූරතාව දිනූ මහින්ද විද්‍යාලයීය කණ්ඩායම

මේ දක්ෂතාත් සමඟින් දිනුර ඊට පසු වසරේ දී මහින්ද විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

අනතුරුව වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම හා එක්වෙන දිනුර එම වසරේ දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 650කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට සමත් වෙනවා. ඔහු එම වසරේ දී පන්දු යවන්නෙක් ලෙසින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 20ක්.

දිනුර දක්ෂතම පිතිකරු අනුශූරතාව දිනා ගත් දා

දිනුරට 2019 වසරේ දක්ෂතම යොවුන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද එම දක්ෂතා ඉවහල් වෙනවා.

මේ කාලයේ ම දිනුර මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද වාසනාව උදා කර ගන්නවා. ඔහු එම වයස් කාණ්ඩයේ කණ්ඩායම නියෝජනය කරන්නේ වයස අවුරුදු 14ක් වෙද්දී.

ඉන් අනතුරුව දිගින් දිගට ම මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගන්නා දිනුර 2021 වසරේ සමස්ත ලංකා පාසල් එක්දින තරගාවලියේ ජයග්‍රාහී මහින්ද කණ්ඩායමේ මෙන් ම ආදරවන්තයන්ගේ ජයග්‍රාහී එක්දින සටනේ ද සාමාජිකයෙක් වෙනවා.

අවසන් වරට නිමා වූ 2022 වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දී පැවති තරග 4 දී මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 149ත් සමඟින් ලකුණු 295ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

දිනුර මේ දිනවල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයන් සමඟ හරි හරියට පුහුණුවීම්වල නිරත වෙන්නේ එළඹෙන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ දී වැඩි දක්ෂතා දක්වමින් තම කණ්ඩායම උපරිම ස්ථානයකට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්. ඒ සඳහා මහින්ද විද්‍යාලයීය වර්තමාන පුහුණුකරුවන් වන උමේග චතුරංග සහ රොඩ්නි ප්‍රදීප් මහත්වරුන් ද සුවිශේෂි දායකත්වයක් දක්වනවා.

ඔවුන්ට ඒ වගේ ම විද්‍යාලයීය විදුහල්පති අතුල විජේවර්ධන මහතා, නියෝජ්‍ය විදුහල්පති එල්. පී. වීරමන් මහතා, ක්‍රිකට් භාර ආචාර්ය වයි. නිශාන්ත කුමාර මහතා, මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණ කළමනාකාර රාජ් ශ්‍රියාවංශ මහතා සහ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයටත් සහෝදර සිසුන්ටත් වගේ ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයටත් ස්තූති කරනවා ඔවුන් අපි වෙනුවෙන් දක්වනු ලබන දායකත්වය සම්බන්ධයෙන්,” දිනුර පැවැසුවා.

දිනුරගේ මේ ස්තුති කිරීමේ ලැයිස්තුව ඉතා විශාල එකක්. ආරම්භක පුහුණුකරුගේ සිට ම ආසන්තම තරගාවලියේ ගාල්ල කණ්ඩායම භාර පුහුණුකරු දක්වා ම එම ලැයිස්තුව දිගුයි. එහි පුහුණුකරුවන්ට අමතර ව ඔහුගේ ක්‍රිකට් ජීවිතයට උදව් උපකාර කළ සහ උපදෙස් දුන් පැරණි සේ ම වර්තමාන ක්‍රීඩකයන්  විශාල ප්‍රමාණයක් ද සිටිනවා.

එමෙන් ම වසර ගණනාවක සිට ම දිනුරගේ සමීපතම පුහුණුකරු වන අනූෂ සමරනායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු දර්ශන ගමගේ මහතා සහ ශාරීරික භෞතචිකිත්සක චන්දිමාල් නිරෝෂන මහතා ද ඒ අතර වෙනවා.

ඒ හැමෝට ම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේ ම මගේ තාත්තත්, අම්මාත් ආදරයෙන් සිහිපත් කළ යුතුමයි. තාත්තා තමයි මාව මේ තත්ත්වයට ගෙනාවේ. මටත් වඩා තාත්තා තමයි මේ වෙනුවෙන් මහන්සි වෙන්නේ. අදටත් ඒ කැපවීම තියෙනවා. ඒ වගේ ම අම්මා තමයි මගේ හැම ඉරියව්වක් ම හඳුනන්නේ. මැච් බලල ම ක්‍රිකට් ගැන හොඳ වැටහීමක් තියෙනවා. වැරදි පහරක් ගහල අවුට් වුනොත් ඒකට හේතු කියන්න ඕන. නැවත ඒ වරද වෙන්න බැහැ. ඒ වැරැද්දෙන් ම නැවත අවුට් වුනොත්, කලින් සිදුවීම දිනයත් කණ්ඩායමත් එක්ක හරියට ම කියනවා. හරියට බෝල කළේ නැත්නම් ඒත් ඒ වගේ ම තමයි. මේ නිසා මම හැම මැච් එකක දී ම  අම්මගෙන් බැනුම් අහන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා.

ඒ වගේ ම මගේ ළඟම ඥාතීන්, සහෝදර සහෝරියන් ද මගේ ක්‍රිකට් ජීවිතයත් සමඟ එකතු වී සිටිනවා. අම්මා තාත්තගෙන් පස්සේ ඔවුන් තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ පිටුපස සිටින්නේ. ඔවුන් සෑම කෙනෙක්ටම ස්තූති කරනවා,” දිනුර පැවසුවා.

ඔහු කෙරෙහි වූ මේ ඇල්ම බැල්ම සහ ඔවුන් තමන් කෙරෙහි අවධානයෙන් සිටීම නිසා සෑම තරගයක දී උපරිමය කිරීමට තමන් නිරතුරුව උත්සාහ කරන බව ද දිනුර පවසනවා. දිනුර පැවසු මේ සියලු දේ සමඟ අපි දුටු තවත් සුවිශේෂි දෙයක් තිබුණා. ඒ දිනුරගේ සිහින හඹා යෑමේ පුරුද්ද.

නවෝද් අයියා තමයි මගේ ක්‍රිකට් ලෝකයේ වීරයා. පුංචි දවස්වල ම මට හිතුණේ එයාගෙ පස්සෙ ගියොත් ලොකු ගේම් එකකට යන්න පුළුවන් කියලා. ඒ වගේ ම ලොකු වුනහම නවෝද් අයියත් එක්ක සෙල්ලම් ඕන කියලා. එයත් එක්ක බිග්මැච් එකක් ගහන්න ඕන කියලා. නවෝද් අයියත් එක්ක තරගයක් දෙකක් සෙල්ලම් කරන්න ලැබුණා. Covid ප්‍රශ්නෙ නිසා බිග්මැච් එකක් ගහන්න බැරි වුනා. ඒ තරමින් හරි මම මගේ පුංචි කාලෙ සිහින ඉෂ්ට කර ගත්තා.

ගාල්ලේ මැච් එකක් ගහන්න ඕන කියන බලාපොරොත්තුව තිබුණා. ඒකත් ඉෂ්ට කර ගත්තා. ඒ ලැබූ දේවල් ගැන සතුටුයි. තවමත් මට නවෝද් අයියගේ මට්ටම එන්න බැරි වුනත්, මගේ උත්සාහය ඒ මට්ටමට එන්න. මුලින් ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වී පුහුණුවීම්වල නිතර වෙනවා. ඊට පස්සේ අඩු වයසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් මගේ එක් හීනයක්,” දිනුර පැවසුවා.

ඔහුගේ එම බලාපොරොත්තු ඉටු වේවා’යි ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<