එංගලන්තයට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

646

එළඹෙන එංගලන්ත යොවුන් තරග සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා 19න් පහළ ටෙස්ට් සහ එක්දින සංචිතය අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

නාලන්දා විද්‍යාලයේ හිටපු නායක සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ උපනායකයා ලෙස ක්‍රීඩා කළ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රවීන් ද සිල්වා මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.

මේ තරගාවලියට යොවුන් එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් වන අතර තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 14 වැනිදා එංගලන්තයට යාමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා හිටපු යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ, යසිරු රොද්‍රිගෝ, මතීෂ පතිරණ වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා නැගී එන සංචාරයක් සඳහා එක්වෙමින් මෑතක දී එංගලන්ත තණතීරුවල සහ එහි ස්වභාවයන් පිළිබඳව අත්දැකීමක් ලබාගෙන තිබෙන නිසා මේ සංචිතය තේරීමේ දී එම ක්‍රීඩකයින් සලකා බැලීමක් සිදු කර නැහැ.

සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක ශෙවෝන් ඩැනියල් මේ කණ්ඩායමේ උපනායකත්වයට පත් කර තිබෙනවා. එසේම මීට පෙර 19න් පහළ අත්දැකීම් තිබෙන පවන් පතිරාජ, රනුද සෝමරත්න, තුන් ඉරියව් ක්‍රීඩක සදීෂ රාජපක්ෂ, තුන් ඉරියව් ක්‍රීඩක වනුජ කුමාර, කඩුලු රකින පිතිකරු ලහිරු දවටගේ, අංජල බණ්ඩාර, අභිෂේක් ලියනාරච්චි, විනුජ රන්පුල්, පිට දඟපන්දු යවන ට්‍රවීන් මැතිව් සහ පා දඟපන්දු යවන 17 හැවිරිදි මල්ෂ තරුපති ද මේ සංචිතයට ඇතුළත්.

මේ ක්‍රීඩකයින් බොහෝමයක් 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන අවසන් වසර මෙය වන අතර 2024 වසරේ දී පැවැත්වීමට නියමිත එළඹෙන ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද මේ සංචිතයට තුල සිටීම සුවිශේෂී වෙනවා.

එම ක්‍රීඩකයින්ට 19න් පහළ මට්ටමේ ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන ක්‍රීඩකයින් සමඟ තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබීම ඉතාමත් වටිනවා.

එසේම නවක වේගපන්දු යවන්නන් කිහිප දෙනෙක් සමඟ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පළමු වරට ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට ඇතුළත් කර තිබෙන අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කැනිස්ටන් ගුණරත්නම්, මහානාම විද්‍යාලයේ දුවිඳු රණතුංග, පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ සහන් මිහිර, වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ වමතින් වේගපන්දු යවන දුලාජ් සමුදිත, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ හසිත අමරසිංහ සහ කටුගස්තොට, සාන්ත අන්තෝනි විද්‍යාලයේ අසිත වන්නිනායක එම නවක ක්‍රීඩකයින් වෙනවා.

එංගලන්ත සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය

රවීන් ද සිල්වා (නායක – නාලන්දා විද්‍යාලය), ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය), වනුජ කුමාර (සාන්ත පීතර විද්‍යාලය), ලහිරු දවටගේ (සාන්ත පීතර විද්‍යාලය), අංජල බණ්ඩාර (මහානාම විද්‍යාලය), විනුජ රන්පුල් (නාලන්දා විද්‍යාලය), මල්ෂ තරුපති (රිච්මන්ඩ් විද්‍යාලය), සදීෂ රාජපක්ෂ (රාජකීය විද්‍යාලය), රනුද සෝමරත්න (ත්‍රිත්ව විද්‍යාලය), පවන් පතිරාජ (ත්‍රිත්ව විද්‍යාලය), ට්‍රවීන් මැතිව් (කටුගස්තොට, සාන්ත අන්තෝනි විද්‍යාලය), අභිෂේක් ලියනාරච්චි (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය), අසිත වන්නිනායක (කටුගස්තොට, සාන්ත අන්තෝනි විද්‍යාලය), කැනිස්ටන් ගුණරත්නම් (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), හසිත අමරසිංහ (මාතර, සාන්ත සර්වේසස් විද්‍යාලය), සහන් මිහිර (පානදුර, සාන්ත ජෝන් විද්‍යාලය), දුවිඳු රණතුංග (මහානාම විද්‍යාලය), දුලාජ් සමුදිත (වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය)

සහාය කාර්ය මණ්ඩලය

ජෙහාන් මුබාරක් (ප්‍රධාන පුහුණුකරු), චමිල ගමගේ (සහාය පුහුණුකරු), ගයාන් විජේකෝන් (පන්දු රැකීමේ පුහුණුකරු), බුද්ධික හේරත් (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු), ප්‍රියන්ත වික්‍රමසිංහ (භෞතික චිකිත්සක), ජයන්ත සෙනෙවිරත්න (කළමනාකරු)

සංචාරය අරඹමින් ලබන 16 වැනිදා ශ්‍රී ලංකාව සහ Young Lions International XI අතර තෙදින පුහුණු තරගයක් පැවැත්වීමට නියමිත අතර එම තරගය පැවැත්වෙන්නේ Loughborough හිදීයි.

ඉන් අනතුරුව තරගාවලියේ පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford (Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර එහි දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී ලබන 28 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

යොවුන් එක්දින තරග තුන සැප්තැම්බර් 5, 8 හා 10 යන දිනවල දී පැවැත්වීමට නියමිත අතර  එහි පළමු තරග දෙකම Worcester හිදී ද, අවසන් තරගය Leicester හිදී ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් අවසන් වරට 2016 දී එංගලන්ත සංචාරයක නිරත වුනු අතර එහි දී යොවුන් එක්දින තරගාවලිය 3-0ක් ලෙස සහ යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට එවකට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තවද, අවසන් වරට එංගලන්ත 19න් පහළ කණ්ඩායමක් 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණි අතර එහි දී දුනිත් වෙල්ලාලගේ මෙහෙයවූ ශ්‍රී ලංකාව යොවුන් එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගන්නට සමත් වුනා.

තරගාවලියේ සම්පූර්ණ තරග කාලසටහන

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<