පෙරළිකාර ජෝසප්වරුන්ගේ නායකයා “ජෙහාන් ඩැනියෙල්“

838

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූයේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය යි. එම තරගයේ සුවිශේෂී දක්ෂතා දක්වන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ නායක ජෙහාන් ඩැනියෙල් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ද වන ජෙහාන් සමඟ ThePapare.com කළ සාකච්ඡාවකි මේ.

19න් පහළ පාසල් එක්දින පිටියේ වීරයා “පොඩි මෙන්ඩා”

ඔහු ක්‍රිකට් දුටුවේ බහ තෝරන්නටත් ප්‍රථමයෙනි. ගෙදර තනිකරම ක්‍රිකට් ය. තාත්තාගේත් අයියාගේත් …

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ දශකයක පමණ කාලයකට පසුව ය.

”අවසන් වරට අපි සමස්ත ශූරතාවක් දිනා ගන්නේ රජීව් වීරසිංහගේ නායකත්වය යටතේ 2007 අවුරුද්දේ. ඊට පසුව තමයි අපේ ටීම් එකට මේ ශූරතාව දිනා ගන්න පුළුවන් වුනේ. ඒ ගැන ගොඩාක් සතුටුයි. විශේෂයෙන්ම මම අවුරුදු 19න් පහළ සෙල්ලම් කරන අවසාන අවුරුද්දෙදී මේ වගේ ජයග්‍රහණයක් පාසලට ලබා දීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මේ සඳහා මගේ කණ්ඩායම මට විශාල වශයෙන් උදව් කළා. ඒ වගේම කෝචින් ස්ටාෆ් එකත්.“ තරගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජෙහාන් ඩැනියෙල් අප සමඟ උදම් ඇනුවේ එසේ ය.

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති අවසාන මහා තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන සාන්ත ජෝසප්වරුන් පළමු ඉනිමට ලකුණු 300ක් රැස් කරති. එයම ඔවුන්ගේ ජයග්‍රහණය විය. ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණි.

“අපිට කොහොමටත් අවශ්‍ය වුනේ වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න. ටොස් එක දාන්න කලින්ම අපේ අදහස වුනේ පළමුවෙන් බැට් කරන්න. වාසනාවකට ඒ අවස්ථාව අපිට උදා වුනා. අනිත් එක තමයි අපේ ටාගට් එක වුනේ ලකුණු 250 පසු කරන්න. මොකද ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක් එම තණතිල්ලේ එදා තිබුණ තත්ත්වය අනුව. පුහුණුකරුවන් පවා අපිව දැනුවත් කළේ පුළුවන් තරම් ලකුණු අතරට යන්න කියලයි. අපි ඒක කළා. ඒ වගේම ප්‍රතිවාදී ත්‍රිත්ව ක්‍රීඩකයන්ට වැඩි ලකුණු අතරට එන්න නොදී අපේ පන්දු යවන්නෝ ඉතාම හොඳට තමන්ගේ ඩියුටිය කළා. අපිට ලෙහෙසියෙන් තරගය දිනා ගන්න හැකි වුනේ ඒ නිසයි.“

ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි

පුරා මාස පහකට ආසන්න කාලයක් පුරාවට පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු …

මෙම තරගයේ දී ජෙහාන් ඩැනියෙල් පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 86ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.

“නායකයෙක් විදිහට ඒ වගේ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබීම ගැන සතුටුයි. මට අවශ්‍ය වුනේ විශාල ලකුණු ප්‍රමාණයක් ස්කෝර් බෝඩ් එකේ තියන්න. ඒක අපේ මූලිකම අරමුණත් වුනා. ඒ වෙලාවේ නායකයා ලෙසින් මගෙන් ඒ දේ ඉටු විය යුතුයි කියන අදහසේ සිටිමින් තමයි මම බැට් කළේ. එම අවස්ථාව අනුව මට ලකුණු 100කට 150කට විතර යන්න තිබුණා. නමුත් මගේ ඉනිම ලකුණු 86 දී නතර වුනා. කොහොම වුනත් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වන්න ලැබීම ගැන සතුටුයි.“ ජෙහාන් පැවසුවේය.

ජෙහාන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමත් සමඟින් එකතු වෙන්නේ වයස අවුරුදු 16 දී ය. එබැවින් ඔහුට පාසල් කණ්ඩායම වෙනුවෙන් දක්වන්නට වූ සහභාගීත්වය අඩු වෙන්නේ ය. ඒ දිගින් දිගටම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා රැඳී සිටීමට සිදු වූ බැවිනි.

“මම වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායමේ පළමු අවුරුද්දේ පමණයි සියලුම තරග ක්‍රීඩා කරන්නේ. අනෙක් අවුරුදුවල දී මගෙන් තරග මඟ හැරෙනවා. නමුත් මම පාසල් කණ්ඩායම හා එක්ව ක්‍රීඩා කරන්න කැමතියි. ලැබෙන අවස්ථාවක දී ම මම පාසල් කණ්ඩායම නියෝජනය කළා.”

එසේ පාසල් කණ්ඩායම නියෝජනය කළ එක් අවස්ථාවක දී ජෙහාන්ට තම පාසල වෙනුවෙන් කළ හැකි උපරිම යුතුකම ද කරන්නේ ය. ඒ සම්බන්ධයෙන් ජෙහාන්ගේ මතකය මෙසේ ය.

“2017 අවුරුද්දේ බිග් මැච් එකේ දී අපේ කණ්ඩායම ලකුණු 09කට කඩුලු 5ක් දැවී ගොස් පුදුම අමාරුවක වැටිලා හිටියේ. ඒ වෙලාවේ දී මම නොදැවී ලකුණු 124ක් ලබා ගන්නවා. ඒ වගේම ඒ නිසා මට හැකි වෙනවා පරාජය වෙන්න ගිය තරගයක් බේර ගන්න. ඒක මම මගේ පාසල වෙනුවෙන් කළ ලොකු මෙහෙවරක්. මගේ ක්‍රිකට් මතකයේ ඉහළින්ම තියෙන මතකයක්.”

සීනියර්ස්ලගෙන් ලොකු සහයෝගයක් ලැබුණා – ජෝසප් පොඩ්ඩෝ

පසුගිය දා නිමා වූ සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ …

ජෙහාන් පවසන්නේ තමන් යොවුන් කණ්ඩායමෙන් ලබා ගන්නා අත්දැකීම් තම කණ්ඩායම හා බෙදා ගැනීමට පාසල් තරග උපකාරී වන බවයි. ඒ අනුව තමන්ට නැවත නැවතත් තම අත්දැකීම් පරිශීලනය කරන්නට ලැබෙන බවයි.

“අපේ පාසල් ක්‍රිකට් කණ්ඩායම ඉතාම සුහදශීලියි. තරගයක දී කෙතරම් පීඩනයක් ආවත් ඒ පීඩනයෙන් මිදිලා තරගයට අවතීර්ණ වෙන්න අපේ අය දන්නවා. අවසාන තරගයේ දී මට එතරම් මහන්සියක් වෙන්න තිබුණෙ නැහැ. හැම දෙනෙක් ම තමන්ගේ යුතුකම් ඉටු කළා. කාටවත් කියන්න අවශ්‍ය වුනේ නැහැ මේ දේ කරන්න කියලා. ඔවුන් කළ යුතු දේවල් හඳුනා ගෙන ඉතාම හොඳින් ඒ දේවල් කළා. නායකයෙක් ලෙසින් මම ඒක අගය කරනවා.”

එවන් දැක්මක් සහිත කණ්ඩායමක් වුවද ලැබෙන විවේකයේ දී කණ්ඩායමේ සාමාජිකයෝ කතාන්දර කීමේ රුසියෝ බවය ජෙහාන් පවසන්නේ. කතාන්දර කීමත්, ගීත ගැයීමත් කිසිදු අඩුවක් නොමැතිව සිදු කරන ඔවුන් ක්‍රීඩා පිටියේ දී ද තමන්ගේ යුතුකම මනාව ඉටු කරන බවයි ජෙහාන් පවසන්නේ.

“කණ්ඩායමේ හොඳම කතාකාරයා වගේම ගායකයා වෙන්නේ සචින්ත මුණසිංහ. ඔහුට ලැබෙන විවේකය මොකක් වුනත් ඒකෙදි කණ්ඩායමට ෆන් එකක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට හරියට සෙට් එකක් සචින්ත අල්ලගෙන ඉන්නවා. කණ්ඩායමේ නිහඬ ඒ වගේම අහිංසක චරිතය තමයි අශාන් ද අල්විස්. නමුත් ඔහුටත් සචින්තලගෙන් නම් බේරෙන්න බැහැ. මේ අය මොනදේ කළත් මම තරගයක දී සෑම ක්‍රීඩකයෙක්ගෙන්ම සියයට සීයක සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. ඒ නිසා ඔවුන් මොනදේ කළත් සීමාවේ සිට කරනවා. ඒක කණ්ඩායමක දියුණුවට විශාල ලෙසින් බලපානවා.”

සාන්ත ජෝසප්වරුන්ගේ කණ්ඩායම මෙහෙයවීමේ දී ජෙහාන් තම කණ්ඩායම දැක තිබුණේ සහ පාලනය කර තිබුණේ ඒ ආකාරයෙනි. එයම ඔවුන්ගේ ජයග්‍රහණය විය. මේ ජයග්‍රහණය පිටුපස තමන්ගේ ක්‍රිකට් දිවියේ ආරම්භයේ සිට මේ දක්වා සහයෝගය දැක්වූ සියලුම පුහුණුකරුවන් ද, විද්‍යාලයීය විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සෑම දෙනෙක් ම ද, ජයග්‍රාහී කණ්ඩායමේ සෑම සාමාජිකයෙක් ම ද සිටින බවයි ජෙහාන් පවසන්නේ. එමෙන්ම මේ සියල්ලම සමඟින් මව සහ පියා ඇතුළු පවුලේ සියලුම දෙනා ද ජෙහාන් ගෞරවයෙන් සිහිපත් කරයි.

ජෙහාන්ගේ ක්‍රිකට් උපත සිදුවන්නේ මීට දශකයට එපිටිනි. ඒ 2008 වසරේ දී ය. පාසලේ ක්‍රිකට් ඇකඩමිය ඔහුගේ පළමු තෝතැන්න ය. ඒ වයස අවුරුදු 11න් පහළ කණ්ඩායම වෙනුවෙනි. ඒ අවදියේම කොළඹ සිංහල ක්‍රීඩා සමාජයීය ක්‍රිකට් ඇකඩමියේ ද ඔහු පුහුණුවට යන්නේ ය.

“මගේ තාත්තා පාසලේ වර්ණ දිනා ගත් දක්ෂ ක්‍රීඩකයෙක්. මම හිතන්නෙ ඒ ආභාෂය වෙන්න ඇති මටත් පිහිටන්න ඇත්තේ. කොහොමටත් මගේ උවමනාවට වඩා තාත්තගෙ උවමනාවට තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරල තියෙන්නේ. පුංචි කාලෙ මමත් ඒ වැඩේ ආසාවෙන් කළා කියලා තමයි කියන්නේ. අනිත් එක අපේ අම්මගෙ පවුලේ සෑම කෙනෙක්මත් ක්‍රිකට්වලට සම්බන්ධයි. ඉතිං අපේ පවුලේ සෑම සියලු දෙනෙක්ම සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩාව මටත් කුඩා කාලයේ සිටම ආගන්තුක වුනේ නැහැ.“ ජෙහාන් තම අතීතය සිහිපත් කළේ එසේය.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග පාවාදීමට ගොස් වැඩ වරදියි

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී …

ජෙහාන්ගේ පියා ෂෙහාන් ඩැනියෙල් සාන්ත ජෝසප් විද්‍යාලයීය වර්ණලාභියෙක් වන්නේ රග්බි, පාපන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනි. ඒ එකම වසරක දී ය. එම වසරේම විද්‍යාලයීය වාර්ෂික මහා ක්‍රිකට් තරගයට ද සහභාගී වී ඇති ජෙහාන්ගේ පියා විද්‍යාලයේ කැපී පෙනෙන ක්‍රීඩා තරුවක්ව සිටි බවකි පැවසෙන්නේ.

“ඇත්තටම තාත්තා තමයි මගේ ක්‍රිකට් ජීවිතය මේ තරමින් ඉදිරියට ගෙන එන්න මූලික වූ ප්‍රධානම කෙනා. ඔහු සෑම දෙයක්ම සොයා බලමින් තරග නරඹමින් අවශ්‍ය අවස්ථාවල දී උපදෙස් පවා දෙමින් මාව දිරිමත් කරනවා. ඒ වගේම තමයි මගේ අම්මා. අම්මත් මම සෙල්ලම් කරන සෑම තරගයක්ම නරඹන්නට ඇවිත් මාව දිරිමත් කරනවා. ඔවුන් දෙදෙනා සමඟ මගේ පවුලේ සියලුම දෙනාමත්, පවුලේ ඥාති සියලු දෙනාමත් මගේ ක්‍රිකට් ජීවිතයට විශාල ලෙස උදව් කරනවා. ඔවුන් සෑම කෙනෙක්ගේම ආසාව මම නැෂනල් ගහනවා බලන්න. ඒ වගේම ඔවුන්ගේ ඉල්ලීමත් ඒක.“

ජෙහාන් දැනටමත් එම ගමන කලඑළි කර ගනිමින් යන බවකි අපට හැඟෙන්නේ. ඒ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙසින් දැනටමත් කටයුතු කරන බැවිනි. එපමණක් නොවේ ඔහු කණ්ඩායමේ උපනායකයා ද වෙයි.

“මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ මුලින්ම එකතු වෙන්නෙ 2015 අවුරුද්දේ. ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙරට කළ සංචාරයක දී. එම සංචාරයේ මම සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේ දී මම ලකුණු 50ක් ගහනවා. ඒ වගේම යවපු මුල්ම පන්දුවේ දී කඩුල්ලක් ලබා ගන්න හැකි වෙනවා. ඒක සොඳුරු මතකයක්.“ ජෙහාන් තමන්ගේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා සහභාගීත්වයේ මතකය අවදි කළේය.

“මගේ බලාපොරොත්තුව ඉතාම ඉක්මනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැමිණෙමින් හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න.“ ජෙහාන් අප හා පැවති සාකච්ඡාව අවසන් කරමින් පැවසුවේය.

ඔහුගේ එම බලාපොරොත්තුව ඉටුවේවායි ThePapare.com අපි ද ප්‍රාර්ථනා කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<