ශ්‍රී ලංකා යෞවනියෝ 2 වැනි තරගයත් පහසුවෙන් ම ජය ගනී

U 19 Women's T20 World Cup

53

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක වෙන පළමු වටයේ තමන් සහභාගී වූ 2 වැනි තරගයෙන් ද පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිඩිකාවෝ අද (21) සමත් වුනා.  

Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 81ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර ඔවුන් ඊට පෙර පැවැති සත්කාරක මැලේසියාව සමඟ තරගයෙන් ද ලකුණු 139ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගයට ප්‍රවිශ්ඨ වෙන්නේ. 

අද පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 85ක් පමණයි. 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් කර තිබුණ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙර පැවැති ඉන්දීය කණ්ඩායමට එරෙහි ව පිටියට පිවිසි කණ්ඩායම ම නම් කර තිබුණා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම  

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, හිරුණි හංසිකා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා. 

 

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Samara Ramnath (නායිකාව), Asabi Callendar, Naijanni Cumberbatch, Jahzara Claxton, Brianna Harricharan, Kenika Cassar, Abigail Bryce, Amrita Ramtahal, Amiah Gilbert, Kristen Sutherland (කඩුලු රකින්නිය), Selena Ross.  

අද තරගයේ දී ද සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා  එක් ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා. එහි දී පළමු කඩුල්ල ලෙසින් තම ඉනිම අවසන් කර ගන්නේ සුමුදු නිසංසලා යි. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා.  

අනතුරු ව පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු කරමින් නායිකාව වන මනුදි නානායක්කාර පිටියට පිවිසෙන අතර ඇය සංජනා කාවින්දි හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කරනවා.  

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩකුත් පන්දු 11ක් ඉක් ම වූ තැන සංජනා කාවින්දි ඉනිමේ  2 වැනි කඩුල්ල ලෙසින් තම ඉනිම අවසන් කර ගන්නවා. ඒ වෙද්දී ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටි අතර එය ශ්‍රී ලංකා ඉනිමේ පිතිකාරිනියක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 5ක් පමණක් ශ්‍රී ලංකා ඉනිමට එක් වෙද්දී 3 වැනි කඩුල්ල ලෙසින් හිරුණි හංසිකා කොදෙව් ක්‍රීඩිකාවන්ට ගොදුරු වෙනවා. අද තරගයේ දී ඇයට ලබා ගැනීමට හැකි වෙන්නේ එක් ලකුණක් පමණයි.  

ඒ සමඟින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 107ක් බවට පත් වුනා. එම අනතුරු දායක ලකුණු පුවරුවට වෙනසක් එක් කරමින් 4 වැනි කඩුල්ලට ලකුණු 30ක් එක් කිරීමට මනුදි නානායක්කාර සහ දැහැමි සනෙත්මා සමත් වෙනවා.  

ඒ අනුව ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 137ක් වෙද්දී මනුදි නානායක්කාර ද තම ඉනිම හැර යනවා. ඇය පිටියෙන් ඉවත් වන විට පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.  

මනුදි නානායක්කාර ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී රශ්මිකා සෙව්වන්දි ද ලකුණු නොලබා ම දැවී යනවා.  

අනතුරු ව පිටියේ එක් වූ දැහැමි සනෙත්මා සහ ශෂිනි ගිම්හානි ශ්‍රී ලංකා ඉනිම ලකුණු 166ක් දක්වා රැගෙන යනවා. එහි දී දැහැමි සනෙත්මා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගන්නා ලද අතර ශෂිනි ගිම්හානි පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 4ක්.  

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 29ක් කණ්ඩායමට එක් කරනවා 

කඩුලු දවා ගැනීමේ දී Selena Ross ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර Kenika Cassar, Jahzara Claxton සහ Naijanni Cumberbatch කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ම කඩුලු 3ක් දවා ගනිමින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන් යැවූ එම පන්දුවාර 6 අවසන් වෙන්නේ කඩුලු 3ක් දැවි ලකුණු 38ක් ලෙසයි.  

අනතුරු ව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 4ක් තුළ දවා ගැනීමට ද සමත් වෙනවා. ඒ ආකාරයෙන් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. නිමා වූ මැලේසියාව සමඟ තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවිම වාර්තා කිරීමට සමත් වෙන්නේ ඇයයි.  

ඇයට අමතර ව ලිමංසා තිලකරත්න සහ අසෙනි තලගුණේ කඩුලු ද්විත්වය බැගින් ද ශෂිනි ගිම්හානි සහ ප්‍රමුදි මෙත්සරා කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

බටහිර ඉන්දිය කොදෙව් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිනිය බවට පත් වූයේ ඉනිම ආරම්භ කළ නායිකාව වූ Samara Ramnath. ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

ඊට අමතර ව Jahzara Claxton ද පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 11ක දී ලකුණු 20ක සබඳතාවක් තම කණ්ඩායමට එක් කිරීමට සමත් විම කැපී පෙණුන අතර එය එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාවය ද වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 5ක් දැවී 166 (20.0) සංජනා කාවින්දි 38, සුමුදු නිසංසලා 19, මනුදි නානායක්කාර 37, දැහැමි සනෙත්මා නොදැවී 31, Selena Ross 2/25

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 85 (19.4) Samara Ramnath 24, Jahzara Claxton 15, චමෝදි ප්‍රබෝධා 3/16, අසෙනි තලගුණේ 2/16, ලිමංසා තිලකරත්න 2/07

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 81ක ජයක්.  

  • තරගයේ වීරයා – චමෝදි ප්‍රබෝධා (ශ්‍රී ලංකාව) 

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ 3 වැනි සහ අවසන් තරගය මේ මස 23 වැනිදා ඉන්දියාව සමඟින් Kuala Lumpur හී Bayuemas Oval ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<