15න් පහළ 2 වැනි කොටසේ ශූරතාව බටපොළ මැදි විදුහලට

U15 Division II Tournament – 2026

5

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ 2 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වූවා.  

කොළඹ, රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනා මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හුංගම, විජයබා ජාතික පාසලට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 86ක් පමණයි.  

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 108ක් ලබා සිටියා. ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරගෙන සිටි බටපොළ මධ්‍ය මහා විද්‍යාලයට මෙවර තරගාවලියේ ශූරතාව පිරිනමනු ලැබුවා.  

හුංගම, විජයබා ජාතික පාසල් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම 

තිහංස සෙන්මිතු (නායක), සිතුජ චමත්සර (කඩුලු රකින්නා), විශ්ව දින්සර, සදෙව් ජයසූරිය, සෙනෝද් සදෙව්, දිනිස් අදීශ, සමල්ක ශ්‍රීමල්, ඔමිරු ගිම්හාන්, ඉමසර උවන්ප්‍රිය, ජනිරු දුල්වාන් සහ සෙනුජ දිනුසර. 

බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම  

යෙනුක සිත්මිර (නායක), අභිලාශ් අදීශ (කඩුලු රකින්නා), දහම් සිතුමිණ, තාක්ෂණ කවිසර, විහඟ සත්සර, ඉශාල් ඉඳුවර, අතිජ සංකල්පන, අඛිඳු දහම්නෙත්, සදෙව් පැහැසර, සෙතුජ දිවුනත්, සසිඳු නෙත්සර සහ අතිජ සංකලන.  

හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම් ඉනිමේ දී ඉලක්කම් ද්විත්වයක ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ පිතිකරුවන් දෙදෙනෙක් පමණයි. එහි දී සෙනෝද් සදෙව් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර සිතුජ චමත්සර පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ විහඟ සත්සර ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉශාල් ඉඳුවර සහ සදෙව් පැහැසර කඩුලු ද්විත්වය බැගින් ද, අතිජ සංකලණ සහ අකිඳු දහම්නෙත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක දකුණත් පිතිකරු අභිලාශ් අදීශ. ඔහු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.  

ඊට අමතර තරගය නතර කරද්දී තාක්ෂණ කවිසර පන්දු 77ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ ඉශාල් ඉඳුවර පන්දු 11ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී සෙනෝද් සදෙව් සහ සමල්ක ශ්‍රීමාල් කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • හුංගම, විජයබා ජාතික පාසල් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 86 (47.5) සිතුජ චමත්සර 20, සෙනෝද් සදෙව් 25, ඉශාල් ඉඳුවර 2/14, විහඟ සත්සර 4/10, සදෙව් පැහැසර 2/15
  • බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 108 (30.0) අභිලාශ් අදීශ 53, තාක්ශන කවිසර නොදැවී 25

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය බටපොළ මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<