වෙළඳ සේවා C කොටසේ ශූරතාව Abans Group කණ්ඩායමට

HONOR - MCA Champion League 50 over Tournament 2026

2

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ වෙළඳ සේවා C කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට Abans Group කණ්ඩායම පසුගියදා සමත් වූවා. වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී  Sampath Bank කණ්ඩායමට එරෙහි ව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 79ක ජයග්‍රහණයක් ලබා ගත් ඔවුන් HONOR – MCA ශූරතාවට හිමිකම් කීවා.  

Abans Group කණ්ඩායම මෙම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ LOLC Holding කණ්ඩායමට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සහ Sampath Bank කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ MAS Intimates කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.  

Abans Group කණ්ඩායම 

සුදාර දක්ෂිණ (නායක), මිහිරංග ප්‍රනාන්දු, දුරංක සිල්වා, ඩිල්ශාන් ද සොයිසා, හරීන් අචින්ත (කඩුලු රකින්නා), තරුෂ ප්‍රනාන්දු, සහන් කෞශල්‍ය, කාවින්ද ඉශිවර, සවිඳු උත්සර, කවීෂ දුලාංජන සහ නිලංක ප්‍රේමරත්න. 

 

Sampath Bank කණ්ඩායම  

සෙනුර අමරසිංහ (නායක), සිතිජ සිල්වා, චමත් දිල්සර, ගජිත කොටුවේගොඩ, හංසජ බණ්ඩාර, කුසල් විජේතුංග, චතුරංග ද සිල්වා, දුලාජ් අශේන්, දුශ්මන්ත චමීර අභිශේක් ආනන්දකුමාර සහ දුමිඳු සෙව්මිණ. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Abans Group කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා. පැවැති වර්ෂාව හේතුවෙන් පිළිතුරු Sampath Bank ඉනිම පන්දුවාර 34කට සීමා වූ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ඔවුන්ට ලැබුණ ඉලක්කය ලකුණු 231ක්. නමුත් ඊට පෙර සියලුම දෙනා දැවී යන විට ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 151ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු චමත් දිල්සර. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා. ඊට අමතර ව ගජිත කොටුවේගොඩ පන්දු 53ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද සහ දුලාජ් අශේන් පන්දු 11ක දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී වමතික් දඟ පන්දු යවන කවීෂ දුලාංජන ලකුණු 33කට කඩුලු 6ක් දවා ගන්නවා. ඊට අමතර ව නිලංක ප්‍රේමරත්න සහ සවිඳු උත්සර ද කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Abans Group කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ත්‍රිත්වයක් එක් වූවා. එහි දී වැඩිම ලකුණු ලබා ගන්නේ සහන් කෞශල්‍ය. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව දූරක සිල්වා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 76ක් ද සහ තරුෂ ප්‍රනාන්දු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ද ලබා ගත්තා.  

ඔවුන්ට අමතර ව ඩිල්ශාන් ද සොයිසා ද පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී චතුරංග ද සිල්වා සහ දුමින්ද සෙව්මිණ කඩුලු 4ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව අභිශේක් ආනන්දකුමාර සහ දුලාජ් අශේන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Abans Group කණ්ඩායම – සියලුම දෙනා දැවී 284 (49.1) දුරංක සිල්වා 76, ඩිල්ශාන් ද සොයිසා 39, තරුෂ ප්‍රනාන්දු 63, සහන් කෞශල්‍ය 80, දුමිඳු සෙව්මිණ 4/56, චතුරංග ද සිල්වා 4/33
  • Sampath Bank – සියලුම දෙනා දැවී 151 (27.4) චමත් දුල්සර 37, ගජිත කොටුවේගොඩ 32, දුලාජ් අශේන් 27, කවීෂ දුලාංජන 6/33

Abans Group කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 79ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<