වෙන්දේසියට එන අයට නිරෝධායනය අනවශ්‍යයි; PCR 2ක් අනිවාර්යයි

502
(news18)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි 18 වැනිදා චෙන්නායි හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා සහභාගී වන IPL කණ්ඩායම් හිමිකරුවන් හට නිරෝධායන කාලසීමාවක් ගත කළ යුතු නැති වුනත්, PCR පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු බවට IPL සංවිධායකයින් නිවේදනය කර සිටිනවා.

පසුගිය බදාදා නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය IPL කණ්ඩායම් හිමිකරුවන්ට හා වෙන්දේසියට සහභාගී වෙන නියෝජිතයින්ගෙන් වෙන්දේසියට පැය 72කට පෙර PCR පරීක්ෂණයක් කරන ලෙසත්, වෙන්දේසිය පැවැත්වෙන චෙන්නායි හි Grand Chola වෙත පැමිණීමෙන් අනතුරුව නැවතත් PCR පරීක්ෂණයකට මුහුණ දෙන ලෙසත් දන්වා තිබුණා.

“ක්‍රීඩක වෙන්දේසියට සහභාගී වන අය වෙන්දේසියට පැය 72කට පෙර PCR පරීක්ෂණයක් කර එහි ප්‍රතිඵල දන්වා සිටිය යුතුයි. චෙන්නායි හිදී වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයට පැමිණි පසුව නැවතත් PCR පරීක්ෂණයක් සිදු කරනවා. ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනවා” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි Hemang Amin, IPL කණ්ඩායම් හිමිකරුවන් වෙත email පණිවිඩයකින් දන්වා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

එම email පණිවිඩයට අනුව කණ්ඩායම් අතර ක්‍රීඩක හුවමාරුව පෙබරවාරි 11 වැනිදා තාවකාලිකව නවතා දැමෙන අතර පෙබරවාරි 18 වැනිදා එය නැවත ආරම්භ වෙනවා. “2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් ලියාපදිංචි වීම මේ දිනවල සිදු කෙරෙනවා. වෙන්දේසියට එක්වන ක්‍රීඩකයින් ඉදිරියේ දී දැනුම් දෙනවා. ක්‍රීඩක හුවමාරු කිරීමේ අවස්ථාව පෙබරවාරි 11 දක්වා ක්‍රියාත්මකයි. පෙබරවාරි 11 වැනිදා නවතා දැමෙන ක්‍රීඩක හුවමාරුව නොවැම්බර් 18 වැනිදා නැවත ආරම්භ වන අතර තරගාවලිය ආරම්භ වීමට මසකට පෙර ක්‍රීඩක හුවමාරුවට ලබා දෙන කාලසීමාව නිමා වෙනවා.” 

එක් කණ්ඩායමකින් නියෝජිතයින් 13 දෙනෙකුට වෙන්දේසිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තවමත් ප්‍රධාන අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වී නැහැ. Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට Vivo නැවත වතාවක් තරගාවලියට සිය අනුග්‍රාහකත්වය දැරීමට සූදානමින් සිටිනවා.

Cricbuzz වෙබ් අඩවිය ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<