තරග පාවාදීමක් නිසා UAE ප්‍රබලයන් දෙදෙනෙකුට වැඩ වරදී

133
Two UAE players found guilty of 2 anti corruption code

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වන Mohammed Naveed සහ Shaiman Anwar ඔවුන්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු බවට තහවුරු වී තිබෙනවා.

2019 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුර සිදු වූ තරග පාවාදීමක් පිළිබඳව ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා. 

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ස්වාධීන පරීක්ෂණයක් සිදු කළා. ඒ අනුව ඔවුන් දෙදෙනා වැරදිකරු බව තහවුරු වී තිබෙනවා. මේ ක්‍රීඩකයන් දෙදෙනාට චෝදනා එල්ල වූ අවස්ථාවේ සිටම ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබුණා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම තහනම දිගටම බලපැවැත්වෙන බවත්, චෝදනා සම්බන්ධයෙන් දඬුවම් ඉදිරි දින කීපය තුල නිකුත් කරන බවත් පවසා තිබෙනවා.

Mohammed Naveed සහ Shaiman Anwar එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනා ලෙස සැලකෙනවා. 

මේ වන විට 41 හැවිරිදි වන Shaiman Anwar එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස තරග රටාවල වැඩිම ලකුණු ලාභියායි. 33 හැවිරිදි Mohammed Naveed එරට වැඩිම කඩුලු ලාභියා වන අතර හිටපු නායකයෙකු ද වෙනවා.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඔවුන් දෙදෙනාට මෙම චෝදනා එල්ල වූ අතර ඉන් අනතුරුව ඔවුන්ට තරග තහනමක් පැනවුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිකුත් කළ නිවේදනයට අනුව මෙම ක්‍රීඩකයන් දෙදෙනා ICC දූෂණ විරෝධී පනත යටතේ වගන්ති දෙකක් උල්ලංඝනය කර තිබෙනවා. 

2.1.1 වගන්තිය: තරගයක් අතරතුර එහි ප්‍රතිඵලයට හෝ තරගයට යම් බලපෑමක් සිදු කිරීමට හෝ, වෙනත් ආකාරයකින් යම් බලපෑමක් සිදු කිරීමට සහභාගී වීම හෝ එකඟ වීම (2019 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අතරතුර)

2.4.4 වගන්තිය: තරග පාවාදීමක් සඳහා ලැබෙන යෝජනාවක් හෝ බලපෑමක් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයට වාර්තා නොකිරීම (2019 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අතරතුර)

මීට අමතරව 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරගාවලිය අතරතුර ද තරග පාවාදීමට උත්සාහ කිරීම සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම යන චෝදනා ද Mohammed Naveed හට එල්ල වී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කළ ESPNcricinfo වෙබ් අඩවිය පවසා සිටියේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ තරග පාවාදීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 272,000ක්  (රුපියල් කෝටි 5.5 කට ආසන්න මුදලක්) ගෙවීමට එකඟ වී ඇති බවයි.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී තරග තහනමකට ලක්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් Mohammed Naveed ඔහුගේ වරද පිළිගෙන තිබුණා. එහි දී ඔහු පවසා තිබුණේ T10 ලීග් තරගාවලිය අතරතුර යම් පුද්ගලයෙකු ඔහුට ඇමතුමක් ලබා ගත් බවත්, එහි දී ඔහු තරග පාවාදීම සඳහා තමාට ආරාධනා කළ වහාම එම ඇමතුම විසන්ධි කළ බවයි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැන්වීමට තමාට නොහැකි වූ බව ද ඔහු පවසා තිබුණා.

Naveed සහ Anwar පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය පිළිබඳව සිය කෘතඥතාව පලකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය ද ක්‍රියා කළා. 

“අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට සහ එහි දූෂණ මර්දන ඒකකයට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ක්‍රීඩාවේ දූෂණ මර්දනය කරන්න ඔවුන් ගන්න උත්සාහයට අපි කෘතඥතාව පලකරනවා” 2019 වසරේ දී නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසා තිබුණා.

“මම මගේ ක්‍රීඩාව ගැන අවංක ක්‍රීඩකයෙක්. මගේ ක්‍රිකට් දිවිය ගැන මම අවංකයි. මම එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වුනා. මම හිතනවා මට සාර්ථක වෙන්න පුළුවන් වුනේ මගේ ක්‍රීඩාවට මම අවංක නිසා කියලා. ඒත් මේ සිදුවීමෙ දී මම වැරදී. මට ක්‍රිකට් ආයතනයට කියන්න තිබුණා. මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට කියන්න තිබුණා. මේක සම්පූර්ණයෙන්ම මගේ වැරැද්ද” තරග තහනමෙන් අනතුරුව Mohammed Naveed පවසා තිබුණා.

තරග පාවාදීම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැඩි නීති රීති පනවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සුළු වැරැද්දක් සඳහා වුවද දැඩි දඬුවම් ලබා දීමට ඔවුන් ක්‍රියා කරයි. මේ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම බංග්ලාදේශයෙන් වාර්තා වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hassan හට වසර දෙකක තරග තහනමක් පැනවීමට 2019 වසරේ දී තීරණය කළා. ඔහුගේ තහනම පසුගිය දා නිමා වූ අතර Shakib Al Hassan නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණ තිබුණා. 

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක නුවන් සොයිසා හට ද මෙවන් සිදුවීමක් සම්බන්ධයෙන් තරග තහනමක් පනවා තිබෙනවා.

ESPNcricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<