එස්. එස්. සී. වරාය ගිල්වීමේ වෑයමක

319

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග ආරම්භ කරමින් අද (25) පැවති තරග අතුරින් එස්. එස්. සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගයේ පළමු දිනය නිමා වන විට ඉදිරියෙන් සිටීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වෙති.

මේ අතර පැවති අනෙකුත් තරගවල දී බී. ආර්. සී. කණ්ඩායමේ ශෂීන් දිල්රංග, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු සහ සචිත්‍ර සේරසිංහ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවෝ බවට පත්වූහ. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නිසල තාරකයි.

ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා…

එස්. එස්. සී. සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරි ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 165ට පිළිතුරු ලෙසින් දිනය නිමා වන විට එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 186ක් ලබා සිටියහ.

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ එස්. එස්. සී. කණ්ඩායමේ කෞෂාල් සිල්වා ය. ඔහු දිනය නිමා වන විට පන්දු 115කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24, යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 186 (43.0) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා නොදැවී 93, මිලින්ද සිරිවර්ධන 49


එන්. සී. සී. සහ රාගම අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. එන්. සී. ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 5ක් බිඳ වැටී ඉතා අසරණ තත්ත්වයේ පසුවෙද්දී චතුරංග ද සිල්වා තම සුපුරුදු ප්‍රහාරාත්මක පිති ප්‍රහාරය දියත් කරමින් පන්දු 129ක දී ලකුණු 90ක් ලබා ගත්තේය. එන්. සී. සී. ඉනිමේ පිතිකරුවෝ අසාර්ථක වෙද්දී පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්වූ සෑම ක්‍රීඩකයෙක්ම ලකුණු අතරට පිවිසීම කැපී පෙණුනි.

එන්. සී. සී; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 247 (76.1) සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්වීස් මහරූෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉෂාන් ජයරත්න 4/46, ජනිත් ලියනගේ 2/41, අමිල අපෝන්සු 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 55 (11.0) උදාර ජයසුන්දර නොදැවී 26, ෂෙහාන් ප්‍රනාන්දු 23,


බී. ආර්. සී. සහ කෝල්ට්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කෝල්ට්ස් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බී. ආර්. සී. ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 310ක් ලබා සිටියහ.

මෙම තරගයේ දී බී. ආර්. සී. කණ්ඩායමේ 23 හැවිරිදි දකුණත් පිතිකරු ශෂීන් දිල්රංග පන්දු 193ක දී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහුට අනගි සහයක් ලබා දුන් හෂේන් රාමනායක ලබාගත් ලකුණු සංඛ්‍යාව 66කි.

පන්දු යැවීමේ දී කෝල්ට්ස් ආරම්භක දකුණත් වේගපන්දු යවන නිසල තාරක ලකුණු 71කට කඩුලු 5ක් දවා ගත්තේය.

බී. ආර්. සී. පළමු ඉනිම කඩුලු 9ක් දැවී 310 (89.0) හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශෂීන් දිල්රංග 124, නිසල තාරක 5/71, ප්‍රභාත් ජයසූරිය 2/62


මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී අද ආරම්භ වූ මෙම තරගයේ අද දිනය අවසාන වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 312ක් රැස් කරගෙන සිටියහ.

කාසියේ වාසිය දිනාගත් සැරසන්ස් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ තමන්ගේ ඉනිමට ශතක දෙකක් එක් කර ගත්හ. 25 හැවිරිදි දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 112ක් ලබා ගනිද්දී අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ 30 හැවිරිදි දකුණත් පිතිකරු සචිත්‍ර සේරසිංහ පන්දු 125කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 145කි.

හලාවත මේරියන්ස්; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 312 (89.5) අශේන් සිල්වා 47, ඔෂාද ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ නොදැවී 105

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<