Haalandට එරෙහි පළිගැනීම Neymarගේ අදහසක්

152
Neymar planned revenge against Haaland

Erling Haalandව හාස්‍යයට ලක්කරමින් Paris Saint-Germain (PSG) ක්‍රීඩකයින් සිදුකළ සැමරුම් Neymarගේ අදහසක් බව Marquinhos පසුගියදා හෙළි කරනු ලැබීය. 

ඒ අනුව ඔහු පවසා සිටින්නේ PSG පාපන්දු සමාජය සහ ජර්මනියේ Borussia Dortmund පාපන්දු සමාජය අතර පසුගිය මාර්තු මස 12 වනදා UEFA Champions League තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දෙවන අදියරේ තරගයේ දී තරගය පුරාවට මෙන්ම තරගය අවසන් වූ පසු ද PSG ක්‍රීඩකයින් ප්‍රතිවාදී ක්‍රීඩක Haalandව හාස්‍යයට ලක්කරමින් ඔහුගේ ගෝල සැමරීම අනුකරණය කරමින් සිදුකළ සැමරුම් Neymar විසින් අදහස් කළ එකක් බවයි. ඒ වන විට යුරෝපය තුළ නව කොරෝනා වෛරස තත්වය ව්‍යාප්ත වීම ආරම්භව තිබූ බැවින් මෙම තරගය පවත්වනු ලැබුවේ ක්‍රීඩාංගණය තුළට ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයක් නොමැතිව ය. 

එහිදී එම වටයේ කණ්ඩායම් දෙක අතර පළමු අදියරේ තරගය Dortmundට අයත් ජර්මනියේ Signal Iduna Park ක්‍රීඩාංගණයේ දී පැවති අතර එය ගෝල 2-1ක් වශයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ Haaland විසින් එම ගෝල ද්විත්වයම වාර්තා කර ගනිමිනි. ඒ අනුව එම ගෝල වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔහු එහිදී සුපුරුදු පරිදි සිය සංකේතාත්මක ගෝල සැමරුම ප්‍රදර්ශනය කළේය. 

කෙසේ නමුත් අනතුරුව PSGට අයත් Parc des Princes ක්‍රීඩාංගණයේ දී පැවති එහි දෙවන අදියරේ තරගය Neymar සහ Juan Bernat වාර්තා කරගනු ලැබූ ගෝල හරහා ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට PSG සමත් වූයේ Dortmund තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. 

එහිදී ඔවුන් එම ගෝල ද්විත්වය වාර්තා කර ගැනීමෙන් අනතුරුව මෙන්ම විශේෂයෙන්ම තරගය අවසන් වී ජයග්‍රහණය සැමරීමේ දී ප්‍රේක්‍ෂකයින් නොමැති වුවත් Haalandගේ සංකේතාත්මක ගෝල සැමරුම අනුකරණය කරමින් ඔහුව හාස්‍යයට ලක්කිරීම කාගේත් කතාබහට ලක්විය. ඒ අනුව පසුව වාර්තා වූයේ මෙය Haaland පැරිස් නුවරට පැමිණීමෙන් අනතුරුව “My city, not yours” වදන් පෙළ සමඟින් ඔහුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිර යාමට අදාළව ඔහුට ප්‍රතිචාර දැක්වීමක් ලෙස PSG ක්‍රීඩකයින් විසින් සිදුකරනු ලැබූ බවයි. කෙසේ නමුත් ඉන් අනතුරුව මෙය Haaland විසින් පළකරනු ලැබූ එකක් නොවන බවට ද වාර්තා පළවිය. 

එම තරගයේ පළමු ගෝලය Neymar විසින් වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔහු පළමුව එම සැමරුම අනුකරණය කරමින් Haalandව හාස්‍යයට ලක්කරන්නට වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් Neymar සමඟ PSG කණ්ඩායමේ මෙන්ම බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ ද ක්‍රීඩා කරන Marquinhos ප්‍රකාශ කර සිටියේ; 

“ඔහු ඒ වගේ දේවල් වලට කැමතියි. Neymar කියන්නේ පාපන්දු ක්‍රීඩකයෙක්ම විතරක් නෙමෙයි. ඔහු හැමවෙලේම ප්‍රකෝපනයන්ට ප්‍රතිචාර දක්වනවා වගේම ඒවාට බයත් නැහැ. ඔහු වාර්තා කරගත්ත ගෝලයෙන් පස්සේ මම ගිහින් ඔහුට කිව්වා අපි සමරන්න තරගය අවසන් වෙනකන් ඉමු කියලා. නමුත් Neymar මට අනතුරු හඟවලා කිව්වා සැමරුම් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න කියලා.” 

පසුව තරගයේ ජයග්‍රහණයත් සමඟ ප්‍රතිවාදීන්ව තරගාවලියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මුළු PSG කණ්ඩායමම එක්ව Haalandගේ එම සැමරුම අනුකරණය කරමින් ඔහුව හාස්‍යයට ලක්කළහ. සියල්ල අවසානයේ අවසන් වරට සමාජ මාධ්‍ය තුළ පැතිරුනු Haalandගේ ඡායාරූපයට Neymar ඔහුගේ පෞද්ගලික Instagram ගිණුමේ ප්‍රතිචාර දක්වා තිබුනේ ඔහු එම සැමරුම අනුකරණය කරන ඡායාරූපයකට “Paris is our city, not yours” වදන් පෙළ එක්කරමිනි. 

 

View this post on Instagram

 

P?R I S our city, not yours ??

A post shared by ene10ta Érre ?? ? neymarjr (@neymarjr) on

තවත් කියවන්න; 

මෙම තරගයෙන් අනතුරුව UEFA බලධාරීන් විසින් PSG හට ක්‍රීඩාවේ සදාචාරමය බව පිරිහෙන ලෙස ක්‍රියා කිරීමට අදාළව නිල අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබූ අතර එය මෙම සිදුවීම පාදක කරගෙන නිකුත් කරනු ලැබුවා ද, එසේත් නැත්නම් එම තරගය තුළ Dortmund ක්‍රීඩක Emre Can හට 89 වන මිනිත්තුවේ දී රතු කාඩ්පතක් නිකුත් වීමෙන් අනතුරුව ක්‍රීඩකයින් අතර ඇතිවූ කළහකාරී තත්වය හෝ Layvin Kurzawa ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම තරගයෙන් අනතුරුව ක්‍රීඩා පිටිය පිටත රැස්ව සිටි ක්‍රීඩාලෝලීන් සමඟ ජයග්‍රහණය සැමරීම පාදක කරගෙන නිකුත් කරනු ලැබුවා ද යන්න පැහැදිලි නැත. 

කෙසේ නමුත් මේ වන විට PSG පාපන්දු සමාජය UEFA Champions League තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා තිබුනත් නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් යුරෝපය පුරා පාපන්දු තරග දින නියමයකින් තොරව කල්යාම හේතුවෙන් තරගාවලියේ අනාගතය තවමත් නිශ්චිත නොමැත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<