පෘතුගාල කණ්ඩායමේ ආධාරය Ronaldoගේ අදහසක්

136
Ronaldo Suggested Portugal Players to Donate Their Bonuses

පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් Euro 2020 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමත් සමඟ ඔවුන්ට හිමි වූ ප්‍රසාද දීමනාවෙන් 50%ක මුදලක් කොරෝනා වෛරස තත්වයට එරෙහි සටනට පරිත්‍යාග කිරීමට ගත් තීරණය සුපිරි ක්‍රීඩක Ronaldoගේ අදහසක් මත සිදුකළ බව වාර්තා වේ. 

මේ බව පෘතුගාල කණ්ඩායමේ මෙන්ම එංගලන්තයේ Manchester City කණ්ඩායමේ ද ප්‍රබල ක්‍රීඩකයෙකු වන Bernardo Silva විසින් පසුගියදා Bleacher Report සමඟ සිදුකරන ලද සංවාදයක දී හෙළි කරනු ලැබීය. 

මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ Euro 2020 පාපන්දු තරගාවලිය සඳහා පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම සාර්ථකව සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් සමඟ ඔවුන්ට ඒ වෙනුවෙන් ප්‍රසාද දීමනාවක් හිමි විය. කෙසේ නමුත් නව කොරෝනා වෛරසය යුරෝපයට තදින්ම බලපෑමත් සමඟ එම තරගාවලිය ලබන වසර දක්වා කල් දමන්නට සංවිධායකයින් පසුගියදා තීරණය කරනු ලැබීය. එවන් පසුබිමක් තුළ පෘතුගාල ක්‍රීඩකයින්ට ඊට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් හිමි වූ ප්‍රසාද දීමනාවෙන් 50%ක මුදලක් වෛරසයට එරෙහි සටනට පරිත්‍යාග කරන්නට ඔවුන් තීරණය කර ඇත. 

Bleacher Report වෙබ් අඩවිය විසින් Bernardo සමඟ පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක දී Ronaldo පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ

“ඇත්තටම Ronaldo තමයි මීට දවස් දෙක තුනකට කලින් අපිට අදහස් කළේ අපේ ප්‍රසාද දීමනාවෙන් කොටසක් පරිත්‍යාග කරමු කියලා. මේ වසරේ දී පවත්වන්න නියමිතව තිබුනු, මේ තත්වය හේතුවෙන් ලබන වසරට කල්ගිය Euro පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තමයි අපිට ඒ ප්‍රසාද දීමනාව හම්බුනේ. ඉතින් Ronaldo ඒ දුන්න අදහසට අනුව තමයි අපේ ක්‍රීඩකයෝ ඒ ලැබුනු ප්‍රසාද දීමනාවෙන් 50%ක් පරිත්‍යාග කරන්න තීරණය කළේ. ඒ වගේම ඔහු අපි හැමෝටම WhatsApp පණිවුඩ එවමින් මේ දිනවල හරි ක්‍රියාකාරීව ඉන්නේ.” 

ඒ අනුව ඔවුන් ලබා දෙන මෙම පරිත්‍යාගය පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් මෙම වෛරස තත්වය හමුවේ වෘත්තීය නොවන පාපන්දු සමාජ වල පැවැත්ම ඉදිරියටත් තහවුරු කර ගැනීම සඳහා ස්ථාපිත කරනු ලැබූ අරමුදල වෙත යොමු කරනු ඇත. පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් පසුව නිකුත් කරනු ලැබූ ප්‍රකාශයක් හරහා ද මේ බව තහවුරු විය. 

“වෘත්තීය සහ වෘත්තීය නොවන පාපන්දු කණ්ඩායම් අතර තිබෙන මිත්‍රත්වය හේතුවෙන් Euro 2020 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අපිට ලැබුනු ප්‍රසාද දීමනාවෙන් කොටසක් පරිත්‍යාග කරන්නට කණ්ඩායමක් ලෙස අපි තීරණය කළා. අපි මේ දක්වා ආපු ගමන්මග අමතක කරන්න බැරි නිසා මෙන්ම අපේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා දිවිය සාර්ථක කරගන්නට උදව් කළ හැමෝම වෙනුවෙන් අපි තීරණය කළා වෘත්තීය නොවන පාපන්දු සමාජ වල ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් මේ වන විටත් ස්ථාපිත කරලා තියෙන අරමුදලට ඒ පරිත්‍යාගය යොමුකරන්න.” 

තවත් කියවන්න; 

ඊට අමතරව මෙම සංවාදයේ දී ඔහුගේ පාපන්දු අනාගතය පිළිබඳව ද විමසනු ලැබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් Bernardo පවසා සිටියේ ඉදිරි වසර කිහිපය තුළ ඔහු Manchester City කණ්ඩායම සමඟම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන නමුත් කෙදිනක හෝ පෘතුගාලයේ Benfica පාපන්දු සමාජය නැවතත් නියෝජනය කිරීමට ද ඔහු බලාපොරොත්තු වන බවයි. 

“මම දන්නේ නැහැ ඒකට කොහොම පිළිතුරු දෙන්න ද කියලා. නමුත් මට විශ්වාසයෙන් කියන්න පුළුවන් තව අවුරුදු 3-4කට මම වෙනත් කණ්ඩායමකට යන්නේ නැහැ කියලා. මොකද මං දැන් ඉන්නේ ඉතාමත් හොඳ ක්‍රීඩා සමාජයක. මම මෙහේ ක්‍රීඩා කරන්නේ ඉතාමත් කැමැත්තෙන්. මට අවශ්‍ය මම කායිකව හොඳම තත්වයෙන් ඉන්න කාලේ මගේ උපරිමයෙන් කණ්ඩායමට මගේ දායකත්වය ලබා දෙන්න. ඒ නිසා මට දැන්ම වෙන පාපන්දු සමාජයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. මට හරියටම වෙනත් කණ්ඩායමට යන ඒ වයස කියන්න බැහැ. නමුත් ඒ දැන් නෙමෙයි. හැබැයි ඒ ගොඩක් වයසට ගිහිල්ලත් නෙමෙයි.” 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<