ඔලිම්පික් පදක්කම්ලාභීන්ට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් තෑගි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල

892

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව වෙනුවෙන් පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබා දීමට සූදානම් බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා. 

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියා.

ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම වාර්තා කිරීමට ඉන්දීය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක Neeraj Chopra ඊයේ (08) සමත් වුනා. Jay Shah සිය නිල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ ඔහුට ඉන්දීය රුපියල් කෝටියක ත්‍යාගයක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම් බවයි.

මෙවර ඔලිම්පික් උළෙල ඉන්දියාවේ සාර්ථකම ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන අතර ඔවුන් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟින් මුළු පදක්කම් 7ක් දිනා ගැනීමට සමත්ව සිටිනවා. සමස්ත පදක්කම් සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ 48 වැනි ස්ථානයයි. 

Jay Shahගේ සටහනට අනුව මෙවර ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් සඳහා ඉන්දීය රුපියල් කෝටියක මුදලක් සහ රිදී පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් මුදලක් ද පිරිනැමීමට නියමිතයි.

බර එසවීම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් Mirabai Chanu සහ මල්ලවපොර ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් Ravi Kumar හට මේ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතයි.

තවත් පුවත්:

“අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට මහත් ආඩම්බරයක් ගෙනාවා පදක්කම් ජයග්‍රහණය කරලා. ඉන්දීය ක්‍රිකට් ආයතනය විදිහට අපි ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම අපි කැමතියි ඔවුන්ට ලබා දෙන මුදල් ත්‍යාග පිළිබඳව නිවේදනය කරන්න. 

  • රන් පදක්කම් දිනා ගත් Neeraj Chopra හට ඉන්දීය රුපියල් කෝටියක්,
  • රිදී පදක්කම් දිනා ගත් Mirabai Chanu සහ Ravi Kumar හට ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්,
  • ලෝකඩ පදක්කම් දිනා ගත් PV Sindhu, Lovina Borgohain, Bajrang Punia හට ඉන්දීය රුපියල් ලක්ෂ 25ක් 
  • හොකී ලෝකඩ පදක්කම දිනා ගත් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 1.25ක්

ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානම්.

Jay Shah සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියා.

Mirabai Chanu ඉන්දීය ඔලිම්පික් ඉතිහාසයේ පළමු බර එසවීමේ පදක්කම් ලාභියා වන අතර Ravi Kumar වාර්තා කළ රිදී පදක්කම 2012 වසරෙන් පසු මල්ලවපොර ඉසව්වෙන් ලබා ගත් පළමු රිදී පදක්කම වනවා. 2012 ඔලිම්පික් උළෙලේ දී Sushil Kumar අවසන් වරට මල්ලවපොර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

Bajrang Punia මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර Lovina Borgohain බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා. බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන PV Sindhu ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පල කළ ද අවසන් පූර්ව වටයේ දී පරාජය වීමෙන් අනතුරුව ඇය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා. ඔවුන් සියලු දෙනාට ඉන්දීය රුපියල් ලක්ෂ 25 බැගින් හිමිවනු ඇති.

PV Sindhu ලබා ගත් මෙම ලෝකඩ පදක්කම ඇයගේ දෙවැනි ඔලිම්පික් පදක්කම ලෙස ඉතිහාසගත වූ අතර ඇය 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ එකම කාන්තාව බවට  පත්වීමට ඇය සමත් වුනා. ඉන්දියාව වෙනුවෙන් එවන් දස්කමක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි.

හොකී ක්‍රීඩාවේ පෙරළිකාරයන් ලෙස සැලකෙන ඉන්දීය පිරිමි හොකී කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වුනා. ඉන්දීය හොකී කණ්ඩායමක් ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තේ වසර 41කට පසුව වීමත් විශේෂත්වයක්. ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී ඔවුන් ජර්මනිය ගෝල 5-4ක් ලෙස පරාජය කළා. ඉන්දීය හොකී කණ්ඩායමක් වාර්තා කළ 12 වැනි ඔලිම්පික් පදක්කම මෙයයි. 

මෙවර ඔලිම්පික් උළෙලට පෙර ඉන්දීය කණ්ඩායම වැඩිම දක්ෂතා දැක්වූ ඔලිම්පික් උළෙල වූයේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලයි. එහි දී ඔවුන් පදක්කම් 6ක් ලබා ගැනීමට සමත් වූ අතර මෙවර පදක්කම් 7ක් වාර්තා කරමින් ඉතිහාසයේ සාර්ථකම ඔලිම්පික් උළෙල මෙය බවට පත්කර ගැනීමට ඔවුන් සමත් වුනා.

ඉන්දීය කණ්ඩායම පදක්කම් සටහනේ 48 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත්ව සිටිනවා. චීනය සහ සත්කාරක ජපානය පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානවල රැඳී සිටිනවා.

Hindustan Times ඇසුරිනි

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<