රග්බි පුහුණු සැසියක් අතරතුර ධාවනයේ යෙදෙමින් සිටිය දී ඇතිවූ අසනීප තත්ත්වයකින් පසු මරණයට පත්වූ 18 හැවිරිදි ක්‍රීඩකයා ඉගෙනුම ලැබූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ඇන්ඩෲ ෆෝලර්-වොට් විසින් අදාළ සිදුවීම පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා (30) දින මෙම සිදුවීම වාර්තා වුනේ ත්‍රිත්ව විද්‍යාලයීය ප්‍රධාන රග්බි කණ්ඩායම සහභාගී වන වාර්ෂික පුහුණු කඳවුරකට අදාලව ක්‍රීඩකයන් පල්ලෙකැලේ ත්‍රිත්ව රග්බි ක්‍රීඩාංගණය දක්වා කිලෝමීටර් 10ක ධාවනයක යෙදෙමින් සිටි අවස්ථාවේ දීයි. එහි දී තැන්නේකුඹුර ප්‍රදේශයේ දී සිහිසුන්ව ඇදවැටුණු භාතිය ඒකනායක පසුව මහනුවර මහා රෝහලේ දී ජීවිතක්ෂයට පත් විය.

සිහිසුන්වූ භාතිය වහාම රෝහල් ගත කිරීමට කටයුතු කෙරුණු අතර දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්යමණ්ඩලයේ දැඩි උත්සාහය යටතේ පැය 12 ක් පමණ ප්‍රතිකාර ලැබූ ඔහුගේ දිවි ගලවා ගැනීමට නොහැකි විය.

පුහුණුවීම් අතරතුර ඇඳ වැටුණු ත්‍රිත්ව සිසුවා ජීවිතක්ෂයට

වයස අවුරුදු 18ක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩකයෙක් සිය පුහුණුවීම් අතරතුර ඇඳ වැටීම නිසා…

අදාළ සිදුවීම පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිත්ව විදුහල්පතිවරයා සිදුවීම විස්තර කර තිබුණේ මෙලෙසින්,

”මා විසින් භාතිය සම්බන්ධව ත්‍රිත්ව පවුලේ සියලු දෙනාටම දැන ගැනීම පිණිස මාගේ පළමු නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව, එම ස්ථානයේ සිටි සියලුම දෙනාගේ අත්සනින් යුතුව එහි දී සිදු වූ සියලු සිදුවීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් මා හට ලැබී තිබේ. මම උපදෙස් දුන්නේ එම ස්ථානයේ සිටි ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය පමණක් සම්බන්ධ කර ගනිමින් මෙම වාර්තාව සකස් කරන ලෙස සහ ඔවුන් සියලු දෙනාම එය කියවා බලා එදින සිදු වූ සිදුවීම් සත්‍ය සහ ඒ ලෙසම වාර්තාවේ සඳහන් බවට ඔවුන් සෑහීමකට පත් වන්නේ නම් පමණක් ඊට අත්සන් තබන ලෙසත්ය. එබැවින් එම සිදුවීම සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස හැරුණු විට වෙනත් කිසිවෙකු මෙම වාර්තාව සකස් කිරීම සඳහා සම්බන්ධ නොවූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.”

”මෙම සිදුවීමේ විනිවිදභාවය ආරක්ෂා කරනු වස් අදාළ වාර්තාවේ ලියවී ඇති ඡේද කිහිපයක් එලෙසින්ම (වදනින් වදන) ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. කෙසේ වෙතත්, ඇතැම් කරුණුවල සංවේදීතාවය හේතුවෙන්, භාතියගේ ඇද වැටීමේ සිට සිදු වූ සිදුවීම් කිහිපයක් අනාවරණය කිරීමෙන් වැළකී සිටින අතර සියලු දෙනාම එම තීරණයට ගරු කරනු ඇතැයි සිතමි.”

වාර්තාවෙන් උපුටා ගත් කොටස්.

”අප විදුහලේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය දක්වා වන ධාවනය උදෑසන ආරම්භ කළා. මෙය තරග වාරයකට පෙර කණ්ඩායමේ එකමුතුව, කණ්ඩායම් හැඟීම සහ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා පසුගිය තරග වාර 8ක් පුරාවටම කරගෙන ආ ක්‍රියාවලියක්.”

”ක්‍රීඩකයන් කිසිවෙකුත් ලී කොට, කඹ වැනි කිසිවක් ඔසවාගෙන ධාවනයේ යෙදුණේ නැහැ. සමහරක් පමණක් ඔවුන්ගේ රග්බි පාවහන් දැමු පෞද්ගලික කුඩා ගමන් මළු රැගෙන ගියා.”

”අප දළදා මාලිගය ප්‍රදේශයට ළඟා වූ විට දණහිසේ ආබාධ සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මීටර් 75ක පමණ දුරක් ඔසවාගෙන යනු ලැබුවා. නමුත් එලෙස ඔසවාගෙන ගිය ක්‍රීඩකයන් අතර භාතිය සිටියේ නැහැ. භාතිය ඉසිරියෙන්ම ධාවනයේ යෙදුණු කණ්ඩායම සමඟ සිටි අතර කිසිදු වෙහෙසකර බවක් ඔහුගෙන් දක්නට ලැබුණේ නැහැ, ඔහු අමතර බරක් ඔසවාගෙන ගියෙත් නැහැ.”

”මිනිත්තු 20කට පමණ පසුව අපි මිනිත්තු 5ක් නැවතී කතා බහක නිරත වුනා. ඉන් අනතුරුව අපි කඳු මුදුනක් වෙත සෙමින් ධාවනය ආරම්භ කළා. මේ වන විටත් භාතිය සිටියේ ඉදිරියෙන්ම ධාවනයේ යෙදුණු කණ්ඩායම සමඟයි. අනෙක් ක්‍රීඩකයන් වෙහෙසකර බවක් පෙන්වුවත් ඔහුගෙන් එවැනි තත්ත්වයක් දක්නට ලැබුණේ නැහැ.”

”පළමු වරට ඔහු අපහසුවෙන් සිටින අයුරක් දිස්වුනේ තැන්නේකුඹුර පාලම ආසන්නයේ දීයි. කෙසේ වෙතත් එහි දී ඔහුව මීටර් 20ක පමණ දුරක් ඔසවාගෙන ගියත් භාතිය ඉල්ලා සිටියේ තමන්ද දිවීමට හැකි බැවින් තමන්ව බිමින් තබන ලෙසයි. එතැන් පටන් යලි ඔහුගෙන් කිසිදු වෙහෙසක් දක්නට නොලැබුණු අතර ඔහු කිසිදු අවස්ථාවක උදවු ඉල්ලා සිටියේ ද නැත. එමෙන්ම පල්ලමක පැවැත්වූ කෙටි දුර වේගවත් ධාවන තරගයක් (මීටර් 50ක) ජය ගනිමින් භාතිය ප්‍රධාන පුහුණුකරුගේ පැසසුමට ද ලක්විය. මෙම කෙටි දුර ධාවනයෙන් පසු අපි ඇවිදගෙන ඉදිරියට ගියේ පුහුණුකරුගේ උපදෙස් අනුවයි.”

මේ අතර විශේෂ කරුණක් වුනේ භාතිය සමඟ වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළ සගයෙකු සිදු කළ මෙම ප්‍රකාශයයි. ඔහුට අනුව භාතිය ”කිසිම දිනක මෙතරම් ශක්තිමත්ව සහ වේගවත්ව සිටියේ නැහැ” එමෙන්ම මේ උදෑසන ”ඔහු සැම විටම ඔහුගේ කණ්ඩායම් සගයින්ට වඩා ඉතා ඉදිරියෙන් සිටියා.”

”අපි මෙම මන්දගාමී ධාවනය තවත් මිනිත්තු 15ක් පමණ කරගෙන ගිය පසු නතර වී 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ලෙස වෙන්වුනා. මෙම කණ්ඩායම් එකිනෙකාගේ දෑතින් අල්ලාගෙන මීටර් 40ක පමණ දුරක් ධාවනයේ යෙදීමෙන් අනතුරුව නැවතත් විවේකයක් ලබා ගැනීමට කටයුතු කළා. භාතිය තමන්ට ක්ලාන්ත ගතියක් දැනෙන බව තමන් සමඟ සිටි ක්‍රීඩකයාට පවසා තිබුණේ මෙම අවස්ථාවේ දීයි.”

අනතුරුව භාතිය බිම ඇද වැටීමේ සිට ඔහුව මහනුවර මහා රෝහලට ඇතුළත් කිරීම දක්වා සිදුවූ සියලු සිදුවීම් සවිස්තරාත්මකව මෙම වාර්තාවේ සඳහන් වේ. නමුත් එම තොරතුරු අනාවරණ කිරීම නුසුදුසු බව මා විශ්වාස කරන්නේ එය ඇතැමුන් හට, විශේෂයෙන්ම මේ වන විටත් දැඩි චිත්ත සන්තාපයට පත්ව සිටින භාතියගේ පවුලේ සාමාජිකයන් හට තවත් ශෝකයට පත් කිරීමට කරුණක් විය හැකි නිසාවෙනුයි.

කෙසේ වෙතත් මා කියවූ එම වාර්තාවට අනුව භාතිය සිහිසුන් වූ අවස්ථාවේ සිට ඔහු රෝහල් ගත කරන මොහොත දක්වා ගත හැකි සියලු පියවර ක්‍රියාත්මක කර තිබූ බව කිව හැකිය. ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, මනා අවබෝධයකින් යුතුව කටයුතු කර ඇති අතර ප්‍රථමාධාර පිළිබඳ මූලික දැනුම නිසි අයුරින් ක්‍රියාවට නංවන්නට කටයුතු කර තිබුණි.

මෙම සිදුවීම හේතුවෙන් දැඩි සිත්තැවුලට පත් වූ භාතියගේ පියා පසුගිය සති අන්තය තුල දෙවරක් රෝහල් ගත කිරීමට සිදු විය. කෙසේ වෙතත් නිසි අයුරින් වෛද්‍ය ප්‍රතිකාර ලැබූ ඒකනායක මහතා පරීක්ෂණ කිහිපයකට ද භාජනය කිරීමෙන් පසු ඊයේ රෝහලෙන් පිටව ගිය බව දැනුම් දීමට කැමැත්තෙමි. ඔහු මේ වන විට සිය පවුල සමග එක්ව සිටින අතර මේ දුක්බර මොහොතේ මාගේ ශෝකය යලිත් වරක් ඔවුන්ගේ පවුල වෙත පුද කරමි. එමෙන්ම මේ මොහොතේ අප විද්‍යාලය මගින් ඔවුන්ගේ පවුලට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවටත් පොරොන්දු වෙමි.

අද උදෑසන අප ත්‍රිත්ව විද්‍යාලයේ විශේෂ රැස්වීමක් පවත්වමින් ජ්‍යෙෂ්ඨ අංශයේ සිසුන් හට සහ කාර්යමණ්ඩලයට අදාළ සිදුවීම සහ අනාගතයේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරන ලදි. ඒ අතරම මධ්‍ය අංශයේ ප්‍රධානාචාර්යවරයා විසින් ඔහුගේ අංශයේ සිසුන්ව ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ අංශයේ සිසුන්ගෙන් මා ඉලා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ ත්‍රිත්ව විද්‍යාලයීය සමාජයේ සියල්ලන්ටම ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලෙසයි. එමෙන්ම සමාජයේ කතාබහට ලක්වන සාවද්‍ය තොරතුරු විශ්වාස කරනු වෙනුවට අදාළ සිදුවීම වූ ස්ථානයේ සිටි තම පාසල් සගයින්ගෙන් නිවැරදි තොරතුරු විමසා දැනගත හැකි බව මා විසින් ඔවුන්ට දැනුම් දෙන ලදි. එම ක්‍රීඩකයන් ද මෙම රැස්වීමට සහභාගී විය. රැස්වීම්වලින් අනතුරුව සිසුන්ට තම ආගම් අනුව මෙම සිදුවීම මෙනෙහි කර ශෝකය පල කිරීම සඳහා කාලය ලබා දෙන ලදි.

අද දිනයේ දී පාසල් වැඩ කටයුතු පස්වරු 12.30ට අවසන් කෙරුණු අතර අපගේ ගෞරවාචාරය පුද කිරීමේ සලකුණක් ලෙස රග්බි ඇතුළු සියලු ක්‍රීඩා කටයුතු පාසල තුල තාවකාලිකව අත්හිටුවා තිබේ. භාතියගේ අවසන් කටයුතු පිළිබඳ දැනගත් විට එය ද දැනුම් දීමට කටයුතු කෙරෙනු ඇත.” යනුවෙන් ත්‍රිත්ව විදුහල්පතිවරයා විසින් ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව භාතිය ඒකනායකගේ දේහය ඊයේ (03) බෝවලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවාස වෙත රැගෙන එනු ලැබීය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (4) පස්වරු 4 ට ඔගස්ටාවත්ත සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<