ක්‍රිස්ටල් පැලස්, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයෙන් සමාව ඉල්ලයි

450

පසුගිය දා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී ඇතිවූ සිදුවීම් මාලාවකට ගම්පොල ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම කළමනාකරු හිල්මි සලීම් මහතා බ්ලූ සටාර් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ගෙන් හා නිලධාරීන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර බ්ලූ ස්ටාර් හා සත්කාරක ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම අතර තරගය අවසානයේ දී ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් විසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට පහර දුන් අතර ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් හෝ එහි කළමනාකාරිත්වය කිසිවක් නොකළ බවට වාර්තා පලවී තිබුණි.

ක්‍රිස්ටල් පැලස්ට පාපන්දු සම්මේලනයෙන් දඬුවම්

ප්‍රේක්ෂකයින් විසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් හට පහර දීමේ සිදුවීමට අදාළව ක්‍රිස්ටල් …

ThePapare.com වෙත අදහස් පල කළ සලීම් මහතා මෙසේ අදහස් දක්වා තිබුණා.

“තරගය හොඳින් අවසන් වුනා, අපි බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් සමඟින් කතා කරමින් සිටියේ, එක්වරම බ්ලූස්ටාර් ප්‍රේක්ෂකයින් හා නාවලපිටියේ ප්‍රේක්ෂකයින් අතර යම් කිසි නොසන්සුන්තාවයක් ඇති වුනා, ඔවුන් අපේ ප්‍රේක්ෂකයින් නොවෙයි, තරගය නිමා වී මිනිත්තු 15කට පසුව තමා මෙම සිදුවීම ඇති වුනේ”

“මට මේ බව දැනුම් දුන්නට පසුව මම ඔවුන්ට (බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ට) පැවසුවා මදක් රැඳෙන්න මම ඔබලා වෙනුවෙන් වගකියන්න ඕන කියලා, මම ඒ මොහොතේම නාවලපිටිය ලීග් ලේකම්වරයාට දුරකතනයෙන් කතා කළා, ඔහු Up-Country Lions කණ්ඩායමේ ලේකම් ද වෙනවා, ඔහු පැවසුවා ඔහු පැමිණ තත්වය සමථයකට පත් කරන්නම් කියා, මේ අතරතුර  බ්ලූ ස්ටාර් ප්‍රේක්ෂකයින් පිරිසක් කෑගහමින් නාවලපිටිය ප්‍රේක්ෂකයින් දෙසට ගියා, එතැනින් තමා ගැටුම ආරම්භ වුනේ, බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් ඔවුන් එක්කන් එන්න ගියා, එතැන දී ඔවුන්ටත් ප්‍රහාර එල්ල වුනා” යැයි එම ගැටුම ආරම්භ වූ ආකාරය ඔහු පවසා සිටියා

“ක්‍රිස්ටල් පැලස් ප්‍රේක්ෂකයින් හෝ ක්‍රීඩකයින් මේ ගැටුමට සම්බන්ධ වුණේ නැහැ, අපිටත් කර ගන්න දෙයක් තිබුණේ නැහැ, අපේ නිලධාරීන් සිටියේ දෙදෙනායි, අපි ගම්පොලින් පිට ක්‍රීඩා කළේ, අපි බ්ලූ ස්ටාර් කණ්ඩායමෙන් සමාව ඉල්ලනවා”

“පොලිස් ආරක්ෂාව ලබා නොදීම අපේ වරදක්, අපි ඩයලොග් ශූරයින්ගේ ලීග් තරගාවලියේ වසර පහක් ක්‍රීඩා කරනවා, අපි කවදාවත් පොලිස් ආරක්ෂාව ලබාගෙන නැහැ, අපිට විශ්වාසය තිබුණා අපේ ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් අයහපත් දේ නොකරයි කියා.“

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<