සිව්දින තරගාවලියේ පළමු ශතකය සමින්දගෙන්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

1073

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක ශතකය ලබා ගැනීමට යාපනය කණ්ඩායමේ 25 හැවිරිදි දකුණත් පිතිකරු සමින්ද ප්‍රනාන්දු අද (24) සමත් වුනා.

ඔහු මෙම දක්ෂතාව කළේ කොළඹ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී. සමින්ද ප්‍රනාන්දු පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 141ක් ලබා ගත්තා.

කණ්ඩායම් 5ක් එක දිගට සති අන්ත 7ක දී එක් කිරුළකට තරග වදින මෙම තරගාවලිය අද ගාල්ලේ දී සහ හම්බන්තොට දී ආරම්භ වුනා.

මේ අතර ගාල්ලේ දී පැවති ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගයේ දී ශතකයන් ආසන්නයට පිවිසීමට මහනුවර කණ්ඩායමේ ලහිරු උදාර (92) සහ ලසිත් කaaස්පුල්ලේ (93) සමත් වීම ද කැපී පෙනුණා.

යාපනය සහ කොළඹ අතර තරගය

යාපනය කණ්ඩායම; සදීර සමරවික්‍රම (නායක- කඩුලු රකින්නා) නවෝද් පරණවිතාන, නිශාන් මධුශ්ක, සමින්ද ප්‍රනාන්දු, කල්හාර සේනාරත්න, දුනිත් වෙල්ලාලගේ, ගීත් කුමාර, නිපුන් මාලිංග, සංතුශ් ගුණතිලක, කසුන් මධුශංක, ප්‍රමෝද් මධුශාන්

කොළඹ කණ්ඩායම; සම්මු අශාන් (නායක) ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා) නිපුන් ධනංජය, ෂෙවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, රොෂේන් සිල්වා, ලහිරු මධුශංක, හිමේෂ් රාමනායක, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පළමුවෙන් පිටියට පිවිසෙමින් පළමු දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 311ක් ලබා ගත්තා.

ඉනිමේ ආරම්භක කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යාවකින් දැවී ගියත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට නවෝද් පරණවිතාන සහ සමින්ද ප්‍රනාන්දු සමත් වුනා. නවෝද් පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා.

අනතුරුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 115ක සබඳතාවක් එක් කිරීමට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සමින්ද ප්‍රනාන්දු සහ නායක සදීර සමරවික්‍රම සමත් වුනා. සදීර පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

දිනය අවසන් වන විට කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 8ක් ද දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 2ක් ද ලබා පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් ලබා ගත්තා.

යාපනය කණ්ඩායම; පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිමට කඩුලු 4ක් වී ලකුණු 311 (90) නවෝද් පරණවිතාන 77, සමින්ද ප්‍රනාන්දු 141, සදීර සමරවික්‍රම 58, ලහිරු මධුශංක 2/47, ප්‍රභාත් ජයසූරිය 2/89

ගාල්ල සහ මහනුවර අතර තරගය

මහනුවර කණ්ඩායම; කමිඳු මෙන්ඩිස් (නායක) ලහිරු උදාර (කඩුලු රකින්නා) ලසිත් කaaස්පුල්ලේ, ඕෂඳ ප්‍රනාන්දු, කසුන් විදුර, පුලින තරංග, තික්ෂිල ද සිල්වා, නිපුන් රන්සික, අසිත ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, අවිඳු තීක්ෂණ

ගාල්ල කණ්ඩායම; ධනංජය ලක්ෂාන් (නායක) පබසර වඩුගේ, ප්‍රියමාල් පෙරේරා, නිමේෂ් විමුක්ති, හේෂාන් හෙට්ටිආරච්චි, විශාද් රන්දික (කඩුලු රකින්නා) හෂාන් දුමිඳු, සුමින්ද ලක්ෂාන්, සංගීත් කුරේ චානක රුවන්සිරි, සචින්ත පීරිස්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉනිමට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 373ක් ලබා ගත්තා.

ඔවුන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 169ක්. ලසිත් කaaස්පුල්ලේ පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තා.

දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තා.

පළමු දිනයට තරගය නතර වූයේ කසුන් විදුර පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටිය දී දැවී යෑමත් සමගින්. ඒ වෙද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි නායක කමිඳු මෙන්ඩිස් පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සබදතාවක් ගොඩ නැගීම කැපී පෙනුණා.

කඩුලු ලබා ගැනීමේ දී චානක රුවන්සිරි ලකුණු 75කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ. ඊට අමතර ව නිමේෂ් විමුක්ති සහ සංගීත් කුරේ කඩුල්ල බැගින් දවා ගත්තා.

මහනුවර කණ්ඩායම; පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිමට කඩුලු 4ක් දැවී 373 (89.5) ලහිරු උදාර 92, ලසිත් කaaස්පුල්ලේ 93, ඕෂඳ ප්‍රනාන්දු 35, කමිඳු මෙන්ඩිස් නොදැවී 90, කසුන් විදුර 58, චානක රුවන්සිරි 2/75

මෙම තරග දෙවැනි දිනටත් (25) ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<