ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු T20 ද්විත්වයේ ප්‍රවේශපත් අවසන්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

346

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරග ද්විත්වයේ ප්‍රවේශපත් සියල්ල මේ වන විට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

ජුනි 07 සහ 08 යන දෙදින තුළ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරග ද්විත්වයේ ප්‍රවේශපත් අද (04) උදෑසන නිකුත් කිරීමෙන් පැය කිහිපයක් තුළ විකිණී අවසන්ව තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසල ප්‍රවේශපත් මිල දී ගැනීම සඳහා දිගු පෝලිමක් දක්නට ලැබුණා.

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙලෙස ප්‍රේක්ෂකයන් තරගය නැරඹීමට උනන්දු වීම සතුටට කරුණක් වන අතර මෙම තරග ද්විත්වය සඳහා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කළ හැකි.

2016 වසරෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර ජුනි 07 වැනිදා ඇරඹෙන මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙනවා.

තරගාවලියේ අනෙක් තරග සඳහා ප්‍රවේශපත් තවමත් නිකුත් කර නොමැති අතර නිකුත් වූ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශපත් මිල දී ගැනීමට හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<