බංග්ලාදේශ ටෙස්ට් නායකයා ඉල්ලා අස්වෙයි

1518

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ ලද පරාජයත් සමඟ බංග්ලාදේශ ටෙස්ට් නායක Mominul Haque සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

2019 වසරේ බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ Mominul Haque අවසන් කාලසීමාවේ දී පිතිකරණයෙන් අසාර්ථක බවක් පෙන්නුම් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 15කින් ජයගෙන තිබුණේ තරග තුනක් පමණක් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් Mominul Haque ප්‍රකාශ කළේ,

“ඔබ හොඳින් ක්‍රීඩා කරන විට කණ්ඩායම පරාජයට පත්වූවත් ඔවුන්ට පෙළඹවීමක් ලබා දෙමින් නායකත්වයේ රැඳෙන්න පුළුවන්. මම ලකුණු ලබා නොගන්නා විට සහ කණ්ඩායම පරාජය වන විට කණ්ඩායමේ නායකත්වයේ රැඳී සිටීම දුෂ්කර බව මට හැඟුණා. මම හිතන්නේ නායකත්වයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ.

මට හිතුණා මම මගේ පිතිකරණයට වැඩි අවධානයක් ලබා දෙන්න. ඒක අමාරු තීරණයක් වුනේ නැහැ. නායකයෙකු වශයෙන් මම කණ්ඩායමට දායකත්වය ලබා දෙන්න ඕන, එහෙම නැත්නම් ඒක විශාල පීඩනයක්. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා මට නායකත්වයේ රැඳී සිටින්න කියලා ඉල්ලා සිටියත් මට තවත් නායකත්වයේ රැඳී සිටින්න මට කැමැත්තක් නැහැ”.

නවසීලන්තය හමුවේ පෙරළිකාර ජයග්‍රහණයක් ලබමින් බංග්ලාදේශය මෙම වසර ආරම්භ කළත් ඔවුන් සහභාගී වූ අවසන් ටෙස්ට් තරග 5න් හතරක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් පරාජයන් ලබා ගැනීමට ඔවුන්ට සිදු වුනා.

ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් ටෙස්ට් තරගයේ ලද පරාජයෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා සහ Mominul Haque අතර විශේෂ හමුවක් පැවති අතර එහි දී සභාපතිවරයා විසින් නායකත්වය පිළිබඳව තීරණය ගැනීමේ වගකීම Mominul Haque හට ලබා දී තිබුණා.

Mominul Haqueගේ ඉවත් වීමෙන් පසුව පුරප්පාඩු වූ ටෙස්ට් නායකත්වය නැවතත් හිටපු නායක Shakib Al Hasan හට ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<