ජාතික සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙක් නැවත කැඳවයි

964

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙක් නැවතත් ශ්‍රී ලංකා පාපන්දු ජාතික සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) තීරණය කර ඇත.

ජාතික පාපන්දු සංචිතය නිකුත් කෙරේ

පසුගිය පෙබරවාරි මාසයේ හා මාර්තු මාසයේ පැවති තෝරා ගැනීමේ තරගවලට පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් ජාතික සංචිතය A හා ජාතික සංචිතය B ලෙස ශ්‍රී ලංකා ජාතික සංචිතයන් දෙකක් තෝරා ගෙන තිබේ.

ඒ අනුව එසේ නැවතත් ජාතික සංචිතයට කඳවු ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කොළඹ පාපන්දු සමාජයේ චරිත රත්නායක, යුද හමුදා පාපන්දු සමාජයේ අසිකුර් රහුමාන් හා සජිත් කුමාර යි. මෙම කැඳවීම පිළිබඳ පුවත තහවුරු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුනිල් සේනවීර මහතා ThePapare.com සමඟින් ප්‍රකාශ කර සිටියේ;

“අපි මුලින් ඔවුන්ව සංචිතයට තෝරගත්තා. නමුත් ඔවුන්ගේ විනය සම්බන්ධ ගැටලු කිහිපයක් තිබුණා. ඒ නිසා අපි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටියා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. පසුව ඔවුන් පරීක්‍ෂණයෙන් අනතුරුව එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ගැටලුවක් නෑ කියලා තහවුරු කළා.”

මීට සති දෙකකට පමණ පෙර නම් කරනු ලැබූ ජාතික සංචිතයට චරිත රත්නායක ඇතුළත් නොකිරීම පුදුමයට කරුණක් විය. 2017 තරග වාරයේ දී පෙලිකන්ස් SC කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් තරග වාරය පුරාවට ඔහු ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර එහි දී අමිත කුමාර සමඟ ‘Center-back’ ස්ථානයේ ප්‍රබල සබඳතාවක් ගොඩනඟාගන්නට ද ඔහු සමත් විය.

නැවතත් ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලියට පිවිසීමෙන් අනතුරුව ඔවුන් තරගාවලියේ 7 වන ස්ථානය තහවුරු කරගන්නට සමත් වූ අතර තරගාවලියේ අන්තිම සති කිහිපය දක්වාම ඔවුන් එහි ශූරතාවයට ද දැඩි තරගයක් එල්ල කරන්නට විය. කෙසේ නමුත් එහි දී අවසාන සති කිහිපය තුළ දී ඔවුන් දියත් කළ පසුගාමී ක්‍රීඩා විලාශය හේතුවෙන් අවසානයේ දී 7 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට ඔවුන්ට සිදු විය. පසුව ඔහුගේම ප්‍රදේශය වන කුරුණෑගල පෙලිකන්ස් SC කණ්ඩායමට එක් තරග වාරයක් පමණක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව 2018 තරග වාරය ආරම්භයේ දී රත්නායක කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම වෙත ක්‍රීඩා සමාජ මාරුවක් සිදු කරනු ලැබීය.

SAFF තරගවලට ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන්

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් 12 වන වරටත් පවත්වනු ලබන 2018 දකුණු ආසියානු පාපන්දු කුසලාන (සුසුකි පාපන්දු කුසලාන) පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

අනෙක් පසින් මෑත අතීතය තුළ යුද හමුදා ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ පසුගාමීම තරග වාරයක් වූ 2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන තරගාවලිය අවසානයේ ඔවුන්ට එහි 9 වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. තරගාවලිය පුරාවට ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට යුද හමුදා ක්‍රීඩා සමාජය අපොහොසත් වුවත්, කණ්ඩායමේ දක්‍ෂතා අභිබවමින් අසිකුර් රහුමාන් සහ සජිත් කුමාර අඛණ්ඩව ඉහළ දක්‍ෂතා අතරට පැමිණි ක්‍රීඩකයින් දෙපළක් විය. රහුමාන් ‘Center-back’ ස්ථානයේ ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයෙක් වන අතර අනෙක් පසින් කුමාර FA කුසලාන තරගාවලියේ මෙන්ම ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ද ඉහළ ගෝල ලබා ගැනීමේ වාර්තාවක් රඳවා ගන්නට සමත් විය.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<