Imran Khanට කොරෝනා ආසාදනය වෙයි

127
Imran Khan

පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම පාකිස්තානයේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වන Imran Khan හට කොරෝනා වයිරසය ආසාදනයට වී ඇති බව පාකිස්තාන විශේෂඥ වෛද්‍ය Faisal Sultan මාධ්‍ය වෙත වාර්තා කර සිටියා.

මේ වන විට 68 වැනි වියේ පසුවන Imran Khan පසුගිය දින කිහිපයේ දී සියුම් රෝග ලක්ෂණ පහළ වීම නිසාවෙන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කර තිබූ බව ද එම වෛද්‍යවරයා සඳහන් කර තිබුණා.

මෙලෙස කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමට දින දෙකකට පෙර Imran Khan විසින් කොරෝනාවට එරෙහි එන්නතේ පළමුවැන්න ලබා ගත් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

එමෙන්ම එන්නත් ලබා ගැනීමෙන් එයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති වීමට යම් කාලයක් ගත වන බවත්, පාකිස්තානය වැනි මෙම එන්නත ලබා ගැනීමට මැළිවන රටක එන්නත ලබා නොගැනීමට මෙය හේතුවක් කරනොගත යුතු බවත් එරට සෞඛ්‍ය නිලධාරීන් සහ උපදේශකවරුන් විසින් පුද්ගලයන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:  

2018 වසරේ දී විශාල ජයග්‍රහණයක් ලබාගනිමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ Imran Khan පසුගිය දින කිහිපයේ දී මහජන හමු කිහිපයක් සඳහා ද සහභාගි වී ඇති නිසාවෙන් ඔහු හා සමීපව කටයුතු කළ සියල්ලටම කොරෝනා පරීක්ෂාවන් සිදු කරගන්නා ලෙස ද සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.

කොරෝනා වසංගතය නිසාවෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ රටක් වන පාකිස්තානයේ මේ දක්වා 625,000කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව 14,000ක් ලෙස ද වාර්තා වෙනවා.

පාකිස්තානය බිහි කළ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Imran Khan 1971 දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමෙන් පසු ටෙස්ට් තරග 88ක් සහ එක්දින තරග 175ක් සඳහා සිය කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දායකත්වයක් ලබා දීමට සමත් වුනා.

එමෙන්ම පාකිස්තානය බිහි කළ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් නායකයෙකු ද වන ඔහු සිය කණ්ඩායම ඉතිහාසගත ජයග්‍රහණ රැසකට මෙහෙය වීමට සමත් වෙමින් 1992 ලෝක ක්‍රිකට් කිරුළ සිය දේශයට දිනා දීමට නායකයෙකු ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද අමිල සේවාවක් ඉටු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<