මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

4727

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුර පාදයේ මස්පිඩු ඇදීමකට ලක්ව ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් හට සති 4-6ක විවේක කාලයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.

පසුගිය 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වූ දෙවැනි තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම අතරතුර මැතිව්ස්ගේ වම් පාදයේ කලව ආශ්‍රිත මස්පිඩු ඇදීමක් සිදු වුනා. ඒ නිසා ඔහු ලකුණු 12ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත්ව ගොස් ඇඹුල්දෙණියගේ දැවී යාමත් සමඟ ඔහු නැවතත් පිතිකරණය සඳහා පිටියට පිවිසියේ සිය ආබාධය ද සමඟයි.

මැතිව්ස් සිය ආබාධය නිසා කඩුලු අතර දිවීම පසෙක තබා විශාල පහරවල් වෙත යමින් ශ්‍රී ලංකා ලකුණු සටහන හැකි උපරිම ලකුණු ප්‍රමාණයක් වෙත රැගෙන යාම සඳහා උත්සාහ කළ අතර අවසානයේ දී ඔහුගේ ඉනිම ලකුණු 29කට සීමා වුනා. එම ඉනිමට 4 සහ 6 පහර දෙක බැගින් ඇතුළත් වුනා. පසුව ඔහුව පුද්ගලික රෝහලක් වෙත යොමු කොට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.

“ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය දෙවැනි මට්ටමේ මස්පිඩු ඉරීමක්, ඔහුට ගොඩක් වෙලාවට LPL තරගාවලිය ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ. ඔහුගේ මේ මස්පිඩු ඉරීම නැවත තිබුණු තත්වයට ඇවිල්ලා හොඳ වෙන්න සති 4-6ක වගේ කාලයක් යයි කියලා අපි විශ්වාස කරනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ThePapare.com වෙත පැවසුවා.

ඒ අනුව ඔහුට ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමට අවස්ථාවක් නොලැබෙන අතර අවශ්‍ය වුවහොත් පමණක් ඔහු නැවත පන්දුවට පහර දෙනු ඇත.

එසේම දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ දෙවැනි අදියර මේ මස 5 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එහි දී Colombo Stars කණ්ඩායමේ නායකත්වය දැරීම සඳහා ද සූදානමින් සිටියේ ඇන්ජලෝ මැතිව්ස් වන නමුත් ඔහුගේ මේ ආබාධය නිසා LPL තරගාවලිය අහිමි වීමට වැඩි ඉඩක් තිබෙනවා.

එසේ  වුවහොත් කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් Colombo Stars කණ්ඩායමේ නායකත්වය දැරීමට වැඩි ඉඩක් තිබෙන බව ද වාර්තා වෙනවා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<