“මේ අපේ උපරිමය නෙමෙයි” – දකුණු අප්‍රිකා පුහුණුකරු

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර තරගාවලිය 2021

998

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමත් සමඟින් දකුණු අප්‍රිකාව තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකාව පිට පිට ලැබූ හත්වැනි විස්සයි විස්ස ජයග්‍රහණය ලෙස වාර්තා වුනා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පසුගිය මාස කීපය තුල එක්වූ බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා තරගාවලිය සඳහා එක්වුනා. තම කණ්ඩායම බලාපොරොත්තු වූ සාර්ථකත්වයට ළඟා වී ඇති බව දකුණු අප්‍රිකානු පුහුණුකරු Mark Boucher ඊයේ (14) තරගයෙන් අනතුරුව පවසා සිටියා.

“මේ කණ්ඩායම තවමත් ඔවුන්ගේ උපරිම දස්කම්වලට ඇවිල්ලා නැහැ. අපිට හදාගන්න තවත් ගොඩක් දේවල් තියනවා. අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා සාකච්ඡා කළා අපි ඉගෙන ගත්ත පාඩම් ගැන. ඒ වගේම අපි හදාගන්න ඕනේ දේවල් ගැනත් අපිට අවබෝධයක් තියනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමක් විස්සයි විස්ස තරගවල දී පිට පිට ලබා ගත් වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවට හිමි වාර්තාව සමකරන්න අපි සමත් වුනා. අපි මුල ඉඳන්ම ක්‍රීඩා කළේ ඒ වාර්තාවට. ළඟ එන ලෝක කුසලානය නිසා අපිට හැම තරගයක්ම වැදගත්. කණ්ඩායමේ අනාගතයට මේක ගොඩක් වැදගත් වේවි”, Mark Boucher පවසා සිටියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිය අපරාජිත වාර්තාව බිඳහෙළීමට අවස්ථාවක් හිමිවන්නේ එළඹෙන ඔක්තෝබර් 23 වැනිදායි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඔවුන් සහභාගී වන පළමු තරගය ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවති සීමිත පන්දුවාර තරගාවලිය නිමා කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයන් කීපදෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත් වුනා. සෙසු ක්‍රීඩකයන් නැවත දකුණු අප්‍රිකාව බලා පිටත් වුනා.

“මම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් එක්ක කතා කළා. ඔවුන් එහි දී පවත්වා ගන්න විනය ගොඩක් වැදගත් වෙනවා. මම හිතන්නේ ඔවුන්ට එක්සත් අරාබි එමීර් ක්‍රීඩාංගණ වල ස්වභාවය ගැන වැටහීමක් ලබාගන්න පුළුවන් වේවි. ඒක කණ්ඩායමක් විදිහට අපිට ගොඩක් වැදගත්.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සහ ආබාධ පිළිබඳව ද Mark Boucher සිය අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් David Miller හට ශ්‍රී ලංකා තරගාවලිය අතරතුර ආබාධයක් ඇතිවීම නිසා ඔහුට තරගාවලියේ තරග දෙකක් ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා David Miller, Kagiso Rabada, Lungi Ngidi, Anrich Nortje, Aidan Markram මෙන්ම Quinton De Kock ද සහභාගී වනවා.

Quinton නැවත ඔහුගේ රිද්මයට පැමිණීම ගැන කණ්ඩායමට ගොඩක් සතුටුයි. ඔහුට පාකිස්තාන තරගාවලියේ දී එතරම් සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. ඒත් ඔහු නැවතත් ඔහුගේ රිද්මයට ඇවිල්ලා කණ්ඩායමට එන්න සමත් වුනා. ඔහු වගේ විශිෂ්ට ක්‍රීඩකයෙක් එතරම් කාලයක් ක්‍රීඩාවෙන් ඈත් කරලා තියන්න බැහැ. ඔහු ලෝක කුසලාන සංචිතයේ ප්‍රබල නමක් විදිහට මම දකිනවා. ඒ වගේම ඔහු ඉතාමත් හොඳ රිද්මයක ඉන්නවා”, Mark Boucher පවසා සිටියා.

ශ්‍රී ලංකා තරගාවලිය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Aidan Markram Punjab Kings කණ්ඩායමේ ක්‍රීඩක Dawid Malanගේ පුරප්පාඩුව පිරවීම සඳහා කණ්ඩායමට එක්වුනා. ඔහුට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බව පෙන්වූ අතර පන්දු යැවීමෙන් ද සාර්ථක වීමට සමත් වුනා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිත්‍ය නායක Temba Bavuma ආබාධයකට ලක්වීමෙන් අනතුරුව කණ්ඩායමේ නායකත්වය හිමි වුනේ Keshav Maharaj හටයි.

Keshav හොඳ නායකයෙක් වෙන්න සුදුසුයි කියලා පෙන්වූ පළමු අවස්ථාව මේක නෙමෙයි. ඔහු ඉතාමත් හොඳින් අවස්ථාවට ගැළපෙන පන්දු යවන්න හැකියාවක් තියන කෙනෙක්. ඒ වගේම ඔහු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් එක්ක හොඳින් සන්නිවේදනය කරනවා. ඔහු ක්‍රීඩකයන් විශ්වාස කරනවා. ඔහු ඉතාමත් හොඳ නායකයෙක්”, Mark Boucher පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා.

ESPNcricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<