ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය අද (05) කොළඹ SSC පිටියේ දී නිමාව දුටුවේය. එහි දී ප්‍රථම ඉනිම වෙනුවෙන් අඩු ලකුණකට සීමා වූ කොළඹ නාලන්ද විද්‍යාලය මුල් දිනයේ දී යම් තරමක පසුබෑමකට ලක් වුවද ලක්ෂිත රසාංජන දෙවැනි ඉනිමේ දී වාර්තා කළ ශතකය නිසා තරගය නිමාව දුටුවේ ජය පැරදුමකින් තොරවය.

දිනය අවසානයේ වැඩි ගෞරවය ආනන්දයට

ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ 88 වන දිග හැරුම අද (4) කොළඹ එස්.එස්.සී. පිටියේ දී සනිටුහන් විය.

අද උදෑසන දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට නාලන්ද ප්‍රථම ඉනිමට වඩා ලකුණු 16ක් ඉදිරියෙන් පසුවුනු ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලෙසයි. ඒ වනවිට නාලන්ද විද්‍යාලයට දැඩි හිසරදයක් බවට පත්වෙමින් සිටි ශම්මු අශාන් නොදැවී ලකුණු 60ක් ලබාගෙන සිටියේය. නමුත් අද උදෑසන ලකුණු 67ක් ලබාගෙන සිටි ශම්මු අශාන්ව පිටියෙන් ඉවත් කරමින් ආනන්ද විද්‍යාලයට යම් සැනසුමක් එක් කිරීමට නාලන්ද විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා සමත් විය. මීට අමතරව ඊයේ දිනය නිමාවන විට ශම්මු සමගින් පිටියේ රැඳී සිටි අනෙක් පිතිකරු වන කමේෂ් නිර්මාල් ද ලකුණු 28ක් ලබා සිටියදී අසේල කුලතුංග අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය.

ආනන්ද ප්‍රථම ඉනිම කඩුලු 8ක් දැවී යන්තම් ලකුණු 190ක් වෙද්දී සමස්ත ක්‍රීඩා පිටියම මොහොතකට වික්ෂිප්ත කරමින් ඔවුන් ඉනිම අත්හිටුවන්නට තීරණය කල අතර ඒ වනවිට ආනන්ද විද්‍යාලය ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් පසුවුනේ ලකුණු 46ක් පමණි. කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් තරග වල දී හොඳින් දක්ෂතා දක්වා ඇති පිතිකරුවන් රැසක් අඩංගු ආනන්ද විද්‍යාලය තරග ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ගත් එම තීරණය ඔවුන්ගේ පැත්තෙන් එතරම් දුර්වල තීරණයක් නොවීය. පන්දු යැවීමේ දී කළණ පෙරේරා සහ අසේල් කුලතුංග අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

[rev_slider dfcc728]

කොළඹ ආනන්ද විද්‍යාලය තැබූ මෙම නිර්භීත පියවර නිසා නැවතත් යම් පමණක පීඩනයකට ලක් වන්නට නාලන්ද පිතිකරුවන්ට සිදුවිය. ඒ ප්‍රථම ඉනිමේ දී අසාර්ථක වූ ඔවුන්ට දෙවැනි ඉනිමේ දී පිතිකරණයේ යෙදෙන්නට සෑහෙන කාල සීමාවක් ඉතිරිව තිබූ බැවිනි. නමුත් තම විද්‍යාලයේ ගෞරවය විශිෂ්ට අන්දමින් රැක දුන් ලක්ෂිත රසාංජන මනරම් හතරේ පහර 11ක් සහ එක් දැවැන්ත හයේ පහරක් සමගින් නොදැවී වාර්තා කළ ලකුණු 113 නිසා 88වැනි සුලෝහිත සංග්‍රාමය ද ජය පරාජයකින් තොරව නිමාවට පත්විය. ඔහුට අනගි සහයක් ලබා දුන් කසුන් සඳරුවන් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරමින් රසාංජන සමගින් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක දැවැන්ත සබඳතාවයක් පැවැත්වීය. ඔවුන් දෙදෙනාගේ මෙම ප්‍රශංසනීය ව්‍යායාමය නිසා තරගය නිමා වන විට නාලන්ද දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 280ක් ලෙස සටහන් විය.

වසරක් ගණනක් ඈත අතීතයට දිව යන සුලෝහිත සංග්‍රාමයේ අවස්ථා 71ක්ම ජය පැරදුමකින් තොරව නිමා වී ඇති අතර අවස්ථා 11කදී ආනන්දය ද, අවස්ථා 6ක දී නාලන්දය ද ශූරතා කුසලානයට හිමිකම් කියා ඇත. එසේම අවසන් වරට සුලෝහිත සංග්‍රාමයේ ජයග්‍රහණයක පහස විඳින්නට 2003 වර්ෂයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය සමත්කම් දැක්වීය.

මෙවර තරගයේ දී මුල් දිනයේ ආනන්ද විද්‍යාලය වැඩි වාසියක් ලබා ගත්තත්, නාලන්ද විද්‍යාලය දෙවැනි දිනයේදී නැවතත් ඉහළ දක්ෂතා අතරට පැමිණු න නිසා කණ්ඩායම් දෙක අතරේ දක්ෂතා සම සමව බෙදී ගිය අවස්ථාවක් ලෙස මෙම තරගය හැඳින්විය හැකිය. තම විද්‍යාලයට අවශ්‍යම කරන මොහොතේ ශතකයක් රැස් කල ලක්ෂිත රසාංජනට මෙවර තරගයේ වීරයා සම්මානය හිමිවූ අතර අනෙකුත් සම්මාන වලට හිමිකම් කියූ දක්ෂයින් පිළිබඳ තොරතුරු පහතින් දක්වා ඇත.

කොළඹ නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 51.5): සුහඟ විජේවර්ධන 37, මධුශාන් හසරංග 31, අවිශ්ක පෙරේරා 26, කසුන් සඳරුවන් 19, කවිශ්ක අන්ජුල 3/37, චාමිකර ගුණසේකර 2/23, සුපුන් වරාගොඩ 2/26.

කොළඹ ආනන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 190 (පන්දුවාර 47): ශම්මු අශාන් 67, දුශාන් හෙට්ටිගේ 37, කමේෂ් නිර්මාල් 27, කවිශ්ක අන්ජුල 25, කළණ පෙරේරා 3/35, අසේල් කුලතුංග 3/47, මාලිංග අමරසිංහ 2/47.

කොළඹ නාලන්ද විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 280 (පන්දුවාර 86): ලක්ෂිත රසාංජන 113*, කසුන් සඳරුවන් 50*, දසුන් සෙනවිරත්න 39, කවිශ්ක අන්ජුල 2/28, ශම්මු අශාන් 1/36.

පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු – ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – කවිශ්ක අන්ජුල (ආනන්ද විද්‍යාලය
  • හොඳම පන්දු රකින්නා – අසේල් කුලතුංග (නාලන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට