රෝහිත්ගේ ද්විත්ව ශතකය නිසා දකුණු අප්‍රිකාවට තවත් ඉනිමක පරාජයක්!

70
PTI Photo

තම සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දිනා ගැනීමට අද (22) ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ඒ රංචි හිදී පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයත් දින දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබිය දී ම ඉනිමකින් සහ ලකුණු 202කින් ජය ගැනීමත් සමඟයි. මේ අනුව ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 3 ස්ථානයේ සිටින දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් පරාජය කරමින් 3-0ක විශිෂ්ට තරගාවලි ජයක් ලබා ගැනීමට ද හැකි විය.

ආසියානු නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ප්‍රථම වරට පවත්වනු ලබන 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙම…

පිතිකරුවන් සඳහා යෝග්‍ය බවට නම් දැරූ රංචි තණතිල්ල මත දී කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින් පන්දුවට පහර දීම තෝරා ගැනීමත් සමඟ මෙම තරගය ආරම්භ විය. ඒ අනුව දුෂ්කර තරග සංචාරයකට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානුවන්ට තම ගෞරවය බේරා ගැනීමටවත් ඉඩක් ඉතිරි නොකළ ඉන්දියානු පිළ තම මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 9කට ලකුණු 497ක් රැස්කර ගත්හ. ඒ තවත් සුපිරි ජයග්‍රහණයකට අවැසි පරිදි වේදිකාව සකස් කර ගනිමිනි.

සීමිත පන්දුවාර තරග සඳහා උචිත ක්‍රීඩකයෙකු ලෙස ලේබල් වැදී තිබුණ ද ටෙස්ට් තරගයක් සඳහා අවශ්‍ය සංයමය තමන් සතු බව ලද අවස්ථාවේ දී ඔප්පු කළ රෝහිත් ශර්මා මෙහි දී අනර්ඝ ද්විත්ව ශතකයක් රැස්කර ගත්තේය. ඒ පන්දු 255කට මුහුණ දෙමින් අලංකාර හතරේ පහර 28ක් සහ දැවැන්ත හයේ පහර 6ක් එල්ල කරමිනි. ජාත්‍යන්තර මට්ටමේ පන්දු යවන්නන් රැසක් සිටිය ද දකුණු අප්‍රිකානුවන්ට රෝහිත්ගේ ප්‍රහාරය වැළැක්වීමට මාර්ගයක් සොයාගත හැකි නොවීය.

මීට අමතරව අජින්ක්‍යා රහානේ ද මැදපෙළ පිතිකරුවෙකු ලෙස තම ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කර ගත් අතර පන්දු 192ක් වැය වුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ලකුණු 39ට කඩුලු 3ක් දැවී ගිය ඉන්දීය ඉනිම ලකුණු 306ට කඩුලු 4ක් දක්වා ඉදිරියට ගෙන ගියේත් රෝහිත් සහ රහානේ අතර ගොඩ නැගුණු මෙම විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවයයි. පන්දු යැවීමේ දී තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජෝජ් ලින්ඩේ කඩුලු 4ක් දවා ගත්තේය.

ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට පන්දු 100 තරගාවලියේ අසුන් නැහැ

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත “The Hundred” ක්‍රිකට් තරගාවලිය සඳහා…

ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු මෙම දැවැන්ත අභියෝගය ජය ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 162ක් වෙද්දී සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර මේ නිසාම ඔවුන්ට දෙවැනි වරටත් පන්දුවාර පහර දීමේ අවමානයට ද ලක්වීමට සිදු විය. ඒ ඩීන් එල්ගාර්, ඩි කොක්, ප්ලෙසිස් ඇතුළු පිතිකරුවන් තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙම තරගාවලිය පුරාම ඔවුන් දඟපන්දු යවන්නන් හමුවේ පමණක් නොව ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ ද නිරුත්තර වීම කැපී පෙනිණ.

මෙම ඉනිමේ දී ද ප්‍රතිවාදීන්ගේ කඩුලු 5ක් බිඳ දැමීමට උමේෂ් යාදෙව් සහ මොහොමඩ් ශමී සමත්කම් දැක්වූහ. දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කීවේ තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුබායර් හම්සායි. ඔහු හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 62ක් රැස් කළේය.

ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 335ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් එහි දී පළමු ඉනිමටත් වඩා අන්ත අසරණ විය. ඒ තම සියලුම කඩුලු ලකුණු 133ක් තුල දී විනාශ කර ගනිමිනි. එහි දී ද දකුණු අප්‍රිකානු මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුත් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් විය. පන්දු යැවීමේ දී මොහොමඩ් ශමී සහ උමේෂ් යාදෙව් නැවතත් කඩුලු 5ක් තමන් අතරේ බෙදා ගත්හ.

ක්‍රීඩකයින් 34කට කොන්ත්‍රාත්තු; ඉහළම ගෙවීම මැතිව්ස්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි මාස 14ක කාලය සඳහා එනම්, මේ වසරේ නොවැම්බර් සිට…

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද කලකට පසු ටෙස්ට් කණ්ඩායම සමඟ එක්වූ රෝහිත් ශර්මා දිනා ගත්තේය. ඔහු මෙම තරගාවලිය අතරතුර ඉනිම 4කට පමණක් මුහුණ දෙමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 529කි. ඒ අනුව ඉන්දියාවට කුසලානය හිමිකර දෙමින් දකුණු අප්‍රිකානු පිළේ ඉන්දීය සංචාරය නිමා වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවය තුල ද ඉන්දියාවට ඉහළම තැනක් ලබා දෙමිනි.

ඒ මේ වන විට තමන් සහභාගි වූ තරග 5ම ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු 240ක් රැස්කර ගනිද්දී දෙවැනි සහ තුන්වැනි ස්ථාන වල පසුවන නවසීලන්තය සහ ශ්‍රී ලංකාව රැස් කරගෙන තිබෙන්නේ ලකුණු 60ක් පමණක් වන බැවිනි.

ඉන්දියා (පළමු ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 497 (පන්දුවාර 116.3): රෝහිත් ශර්මා 212, අජින්ක්‍යා රහානේ 115, රවීන්ද්‍ර ජඩේජා 51, උමේෂ් යාදෙව් 31, ව්‍රිදිමන් සහා 24, ජෝජ් ලින්ඩේ 4/133, කාගිසෝ රබාඩා 3/85.

දකුණු අප්‍රිකා (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 56.2): සුබායර් හම්සා 62, ජෝජ් ලින්ඩේ 37, ටෙම්බා බවුමා 32, උමේෂ් යාදෙව් 3/40, රවීන්ද්‍ර ජඩේජා 2/19, ශබාස් නදීම් 2/22, මොහොමඩ් ශමී 2/22.

දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 133 (පන්දුවාර 48): තීනස් ඩි බ්‍රයන් 30, ජෝජ් ලින්ඩේ 27, ඩේන් පීඩ් 23, ඩීන් එල්ගාර් 16, මොහොමඩ් ශමී 3/10, ශබාස් නදීම් 2/18, උමේෂ් යාදෙව් 2/35.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<