“ක්‍රීඩා ගුරුවරුන් පිට්ටනියට යා යුතුයි” – අධ්‍යාපන ඇමති

489
Education ministers

ක්‍රීඩා ගුරුවරුන්ට පන්ති කාමර තුළ සිට ක්‍රීඩාව ඉගැන්වීම සිදුකළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ “2017-2021 ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ජාතික සංවර්ධන වැඩසටහන” එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (15) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය ලිපි: තරුණසේවා රූපවාහිනි සුපර් ලීග් ශූරතාවන් යුධ හමුදාවට

“ක්‍රීඩා උපදේශකවරු 3850 දෙනෙක් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකා යොමුකොට තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට වඩා ක්‍රීඩා සුදුසුකම් වලට වැඩි තැනක් දෙනවා”යි ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“විෂය සමගාමී කටයුතු සඳහා දරුවන් යොමුකිරීම කළ යුතුයි. ලක්ෂ 48ක් වන පාසැල් සිසුන්ගේ මානසිකත්වය සහ පෞර්ෂය සමබර කිරීම සඳහා එය උපකාර වනවා” ඔහු අවසන් වශයෙන් පැවසීය.

පසුව 2017 සිට 2021 වර්ෂය දක්වා වන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ජාතික සංවර්ධන වැඩසටහන අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම සිදුවිය.

ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ප්‍රධාන ක්‍රියාකාරකම් 16ක් යටතේ සිදුකෙරේ.

  1. ශාරීරික අධ්‍යාපන විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ක්‍රීඩාංගනය තුළ ක්‍රියාත්මක කිරීම.
  2. සෑම සිසුවෙකුම කිසියම් ක්‍රීඩාවක නිරත කරවීමට කටයුතු කිරීම.
  3. ප්‍රාථමික අධ්‍යාපන අංශයේ සිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  4. පාසැල් ක්‍රීඩා තරඟ නියමිත පරිදි සංවිධානය.
  5. සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව අගයමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීම හා ඔවුන් ක්‍රීඩා පාසල්  යොමුකිරීම.
  6. ක්‍රීඩා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු සංචිත ක්‍රියාත්මක කිරීම.
  7. දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා පාසල් යළි ගොඩනැගීම හා ‘හොඳම පාසල ළඟම පාසල’ ව්‍යාපෘතිය යටතේ කලාප මට්ටමින් ක්‍රීඩා පාසල් 98ක් පිහිටුවීම.
  8. ජාතික ක්‍රීඩා පාසලක් පිහිටුවීම.
  9. පාසල් ක්‍රීඩා සංගම් ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ පරිපාලනය කිරීමට කටයුතු කිරීම.
  10. දේශීය හා විදේශ තරඟ සඳහා සිසුන් සහභාගී කරවීම.
  11. උදෑසන පාසල් ශරීර සුවතා වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  12. ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා වැඩමුළු පැවැත්වීම.
  13. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා නායකත්ව පුහුණු වැඩමුළු පැවැත්වීම.
  14. සියලු පාසැල් තරඟ විනිශ්චය කිරීම සඳහා ගුරු මහත්ම මහත්මීන් පුහුණු කිරීම.
  15. එක් එක් ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් බිහිකිරීම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
  16. ක්‍රීඩාවේ නියුක්ත වීමේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්නේ කෙසේද? ඒ පිළිබඳව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීම .තම උසට සරිලන බර පවත්වාගෙන යාම පිළිබඳ දැනුම ලබාදීම.

අදාළ වැඩසටහන එළිදැක්වීමෙන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක සුනිල් ජයවීර මහතා මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මෙසේ පැවසුවේය.

“මීළඟ වසරේ සිට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් සියලු පාසල් ක්‍රීඩා සංගම් ප්‍රතිසංධානගත කරන්නට බලාපොරොත්තු වෙනවා.”

දියගම ඉදිකිරීමට නියමිත ක්‍රීඩා පාසල පිළිබඳ මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න නැගූ අවස්ථාවේදී ඔහු කියාසිටියේ,

“දියගම ක්‍රීඩාංගනයේ දැනට අක්කර 125ක් තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට ඉන් අක්කර 15ක් ලැබී තිබෙනවා. ජාතික පාසල් ක්‍රීඩා සංකීර්ණයක් එහි ඉදිවෙනවා. 7 වසර සිට 13 වසර දක්වා දරුවන් 700කට පමණ නේවාසික පහසුකම් ලබාදෙන්න නියමිතයි. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ඇමතිතුමාට ලබාදුන්නා. මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සමඟ එකතුවී එහි සැලසුම මේ වනවිටත් සකස් කෙරෙනවා.” යන ලෙසයි.

“දක්ෂ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපකරණ, ඇඳුම් පැළඳුම් සියල්ල ලබාදෙනවා. උදේ 9.00-12.00 දක්වා ක්‍රීඩා පුහුණුවත් 3.00න් පස්සේ අමතර අධ්‍යාපනයකුත් ලබාදෙනවා. මෙය සාර්ථක වුණොත් අපට තව හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවේවි. ගිය වසරේ අපට වෙන්වුණේ මිලියන 60ක ප්‍රතිපාදන පමණයි. නමුත් 2017 වසර සඳහා මිලියන 200ක් ලැබුණා. එයින් කලාප 98ට ක්‍රීඩා පාසල් 98ක් දියුණු කරනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා අනාගතය ගැන සුභ සිහින මවන අප කාහටත් සතුට දනවන පුවතක් ලෙස මෙය සටහන් කළ හැකිය. මන්ද, මෙවන් සංවර්ධන වැඩසටහනක් සාර්ථක කරගතහොත් කෙදිනක හෝ ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් ක්‍රීඩා පිටියෙන් බිහිවන බැවිනි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට