ජාතිවාදයට එරෙහිව කළු ඇඟ ලා ගත් බ්‍රසීලය!

744

පසුගිය 18 වැනිදා බ්‍රසීලය විසින් ඔවුන්ගේ වසර 109ක පාපන්දු ඉතිහාසය තුළ ප්‍රථම වතාවට කළු පාට ඇඳුමකින් සැරසිලා පාපන්දු ක්‍රීඩා කළා. 

ඒකට හේතුව තමයි යොවුන් බ්‍රසීල නැගී එන පාපන්දු තරුව Vinícius Jr කියන ක්‍රීඩකයා.  

Vinicius එහෙම නැත්නම් කවුරුත් දන්න විදිහට Vini බ්‍රසීලයට අමතරව ක්‍රීඩා කරන්නේ ලෝක ප්‍රසිද්ධ ස්පාඤ්ඤයේ Real Madrid ක්‍රීඩා සමාජයට. 2000 වසරේ උපත ලබපු, මේ වන විට 23 හැවිරිදි වියට ලං වෙමින් ඉන්න ViniReal Madrid සමඟ එකතු කර ගන්නේ මීට වසර 5කට පමණ පෙර. ඔහු මේ වෙද්දී Madrid වෙනුවෙන් ගෝල 34ක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. බ්‍රසීලය වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කරලා තියෙනවා. 

බ්‍රසීලයේ වත්මන් ප්‍රබලයා Neymarගෙන් පසුව ඒ වගකීම දරන්න ඉන්න මීළඟ පරම්පරාවේ ක්‍රීඩකයෙක් විදිහට තමයි Viniව හඳුන්වලා දෙන්නේ.

මේ තමයි Vini Jr පිළිබඳ ව ලබා දෙන්න පුළුවන් සරල හැඳින්වීම.  

Vini වෙනුවෙන් බ්‍රසීලය ඉතිහාසයේ පළමු වරට කළු පැහැ ඇඳුමෙන් සැරසුණේ ඇයි කියන එක තමයි ලිපියේ කතාව. 

Vini විසින් Real Madrid සමඟ එකතු වුනායින් පසුව මේ වෙද්දී අවස්ථා කිහිපයක දී ම ජාතිවාදී වාග් ප්‍රහාර වලට ලක් වෙලා තියෙනවා. 

සංඛ්‍යාත්මකව සැලකුවොත් අවස්ථා දහයක දී පමණ Viniව විවිධ ප්‍රේක්ෂකාගාර වලින් මේ විදිහේ වාග් ප්‍රහාරවලට ලක් වුනත්, ඒ බොහෝ අවස්ථාවල දී ඒවා සාක්ෂි නොමැතිකම නිසා ඔප්පු වුනේ නැහැ. 

Vini විසින් කාලයක පටන් ම තමන්ට යම් ජාතිවාදී ගැරහීම් සිදු වන බවට චෝදනා ඉදිරිපත් කරලා තිබුනත්, ඒ විදිහේ පැමිණිල්ලක් පිළිබඳ La Liga වෙතින් මුලින් ම විභාගයක් කෙරෙන්නේ 2021 නොවැම්බර් මාසයේ දී. 

Barcelona ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් මේ ජාතිවාදී වාග් ප්‍රහාර Vini වෙත එල්ල කළා කියලා චෝදනා එල්ල වුනත්, එයට වරදකරුවන් ව හඳුනා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ සිදුවීම අතීතයට එකතු වුනා. 

ඉන්පසුවත් 2022 වසරේ වගේ ම 2023 වර්ෂයේ දීත් Viniට මේ විදිහේ ජාතිවාදී ප්‍රහාර එල්ල වෙනවා. අවසානයේ මේ සිදුවීමේ තීරණාත්මක මොහොතක් එළඹෙනවා. ඒ 2023 මැයි මාසේ 21 වැනිදා. මේ දවසේ Real Madrid කණ්ඩායම සහ Valencia අතර පැවැත්වුණු තරගයක් අතරතුර Viniට පෙර පරිදි ම ජාතිවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. 

“ජාතිවාදී අපහාසයක්: තරගයේ 73 වැනි මිනිත්තුවේ දී ප්‍රේක්ෂකයකු විසින් Real Madrid අංක 20 දරන Vinicius José De Oliveira Do Nascimiento ක්‍රීඩකයා වෙත ‘වඳුරා, වඳුරා’ යැයි කියමින් කෑ ගසා ඇත.” 

තරග විනිසුරුගේ නිල තරග වාර්තාවේ දී මේ සිදුවීම ඒ ආකාරයෙන් විස්තර කර තිබුණා. 

මේ සිදුවීම වූ වහාම Vini විසින් අදාළ සිදුවීම විනිසුරුවන් වෙත වාර්තා කළේ තරමක් ආවේගශීලී වෙමිනුයි.

මෙම සිදුවීමට පසු දිනයේ ම ස්පාඤ්ඤ පොලිසිය මඟින් මේ සිදුවීමට අදාළ සැකකරුවන් හඳුනා ගනිමින් ඔවුන් ව සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. 

එමෙන්ම මෙම සිදුවීමෙන් පසු Vini විසින් සිය Instagram සහ Twitter ගිණුම්වල සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබුණා. 

“ජාතිවාදය දිනූ ත්‍යාගය මගේ ඉවත් වීමයි. මේ පාපන්දු නෙවෙයි, මේ La Liga.” 

– Vini jrගෙ Instagram සටහන (Story) 

“එය පළමු, දෙවැනි හෝ තෙවැනි අවස්ථාව නෙවෙයි. La Liga හි ජාතිවාදය සාමාන්‍ය දෙයක්. ඔවුන් හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මට හරි කනගාටුයි. මේ තරගාවලිය කලකට පෙර Ronaldinho, Ronaldo, Cristiano [Ronaldo] සහ [Lionel] Messi වගේ අයට අයිති වෙලා තිබුණා. දැන් ඒක අයිති වෙලා තියෙන්නේ ජාතිවාදීන්ට. 

මේක මාව පිළිගත්, මම ආදරය කරන ලස්සන රටක්. නමුත් ඔවුන් ලෝකයට අපනයනය කරන ප්‍රතිරූපය ජාතිවාදී එකක්. මේ දේවල් වලට එකඟ නොවෙන ස්පාඤ්ඤ ජාතිකයින් මට සමාවෙන්න. නමුත් අද බ්‍රසීලය ස්පාඤ්ඤය ගැන දන්නේ වර්ගවාදී රටක් විදිහට. 

මම ශක්තිමත්, ජාතිවාදීන්ට එරෙහිව මම මේ ගමන යනවා.” 

– Vini Jrගේ Twitter සටහන 

Vini විසින් මේ විදිහට කලකිරීමෙන් යුතු ව සමාජ මාධ්‍යවල සටහන් තැබීම තුළින් ඔහු මොන තරම් විශාල පීඩනයක් එක්ක ජීවත් වුනා ද කියන දේ ගැන අපට දළ අදහසක් ගන්න පුළුවන්.  

මේ සිදුවීමෙන් පසුව ඔහුගේ Real Madrid සහ බ්‍රසීල කණ්ඩායම් සාමාජිකයින් ඔහු වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කරනවා. ඔහු වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙනවා. (විශේෂයෙන්ම Rodrygo, Raphinha, Neymar වගේ අය. මේ අය අවසන් සිදුවීමේ දී විතරක් ම නෙවෙයි ඊට පෙර සිට Vini වෙනුවෙන් සිය සහයෝගය ලබා දුන්නා.) 

නිමා වුනු 2022 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට ඉතිරි කලේ අවාසනාවන්ත මතකයක් විතරයි. 2022 දෙසැම්බර් මාසයේ 9 වෙනි දා ක්‍රොඒෂියාව හමුවේ ලැබූ අවාසනාවන්ත පරාජයෙන් පසුව ආයෙත් බ්‍රසීල ක්‍රීඩකයින් එකට එකතු වෙන්නේ පසුගිය මාර්තු 26 වැනිදා. එදා මොරොක්කෝව සමඟ ක්‍රීඩා කරපු බ්‍රසීලය ඒ තරගයත් පරාජයට පත් වෙනවා. 

Vini සම්බන්ධ අවසන් සිදුවීම සිදු වුනායින් පසුව තමයි බ්‍රසීලය තමන්ගේ මීළඟ ජාත්‍යන්තර පාපන්දු තරගය ක්‍රීඩා කරන්නේ. පසුගිය ජුනි 18 වැනිදා ඔවුන්ට Guinea දේශය සමඟ තරගයක යෙදෙනවා. ඔවුන් මේ තරගයේ දී Vini වෙනුවෙන් ජාතිවාදයට එරෙහිව බව සංකේතාත්මක ව ඉදිරිපත් කරනවා. 

“අද රාත්‍රියේ බ්‍රසීලය පළමු වතාවට කළු ඇඳුමෙන් සැරසෙයි. ජාතිවාදයට එරෙහි සටන වෙනුවෙන් බලවත් පණිවුඩයක්.” 

මේ අනුව තමයි බ්‍රසීලය තමන්ගේ වසර 109ක් පැරණි අතීතය වෙනස් කරන්න පසුගිය සතියේ තීරණය කරන්නේ. 

ඔවුන් ඒ හැම දෙයක් ම කළේ ජාතිවාදයට එරෙහි වීම වෙනුවෙන්! 

“මම පත්වීම් ලැබූ පළමු දිනයේ සිට ම මෙයට (ජාතිවාදයට එරෙහි වීම) මුල් තැන දුන්නා. අපි මේ මාතෘකාව සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ සංවිධානය කළා. ඒ වගේ ම මේ ගැන සාකච්ඡා කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් වරින් වර මුණගැසීම සඳහා 60 දෙනෙකුගෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් නිර්මාණය කළා. 

ජාතිවාදී ක්‍රියාකාරකම් සඳහා දඬුවම් ලකුණු ලබා දීමට යන්ත්‍රණයක් නිර්මාණය කළ ලොව එකම පාපන්දු සම්මේලනයත් අපියි.” 

බ්‍රසීල පාපන්දු සම්මේලන සභාපති Ednaldo Rodrigues විසින් මේ ගැන සඳහන් කළා. 

බ්‍රසීලය විසින් මීට පෙර කවමදාවත් කළු පැහැ ජර්සියකින් යුතු ව ක්‍රීඩා කරලා තිබුණේ නැහැ. 2013 වර්ෂයේ දී ඔවුන් සිය තෙවැනි නිල ඇඳුම් කට්ටලය ලෙස කළු පැහැ ඇඳුමක් නිර්මාණය කළා, නමුත් ඔවුන් ඒක කවදාවත් ඇඟලා ගත්තේ නැහැ. 

අපි කාගෙත් ඇහැට හුරු සහ බ්‍රසීලය කිව් සැණින් මතකයට එන කහ පැහැ (Home) ජර්සිය සහ නිල් පැහැ (Away) ජර්සි දෙක තමයි බ්‍රසීලයේ නිත්‍ය ඇඳුම් කට්ටල වර්ණ වෙන්නේ. 

කොහොම වෙතත් පසුගිය ඉරිදා අලුයම පැවැත්වුණු මෙම තරගයේ දී බ්‍රසීලය විසින් තරගයේ පළමු අර්ධයේ දී මේ කළු පැහැ ජර්සිය පලඳිනවා. 

“ජාතිවාදය සමඟ ක්‍රීඩාවක් නොමැත කියන මේ විරෝධතා ව්‍යාපාරයේ සටන් පාඨය ජර්සි වල සඳහන් කරලා තිබුණු බවත් වාර්තා වල සඳහන් වෙනවා. 

ඒ අනුව මේ තරගයේ පළමු අර්ධය නිමා වෙන්නේ බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස ඉදිරියෙන් හිඳිමින්. 

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ සංකේතාත්මක ලෙස විරෝධය පළ කළ බ්‍රසීලය තරගයේ දෙවන අර්ධයේ දී සිය සුපුරුදු කහ පැහැ ජර්සිය සමඟ පිටියට පිවිසිලා තවත් ගෝල ද්විත්වයක් වාර්තා කරන්න සමත් වුනේ තරගය ගෝල 4-1ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමිනුයි. 

ඒ වගේ ම තරගය ආරම්භ කරන්න පෙර කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින් විසින් ක්‍රීඩා පිටිය තුළ දණ නවමින් මේ ජාතිවාදීන්ට විරුද්ධව නිහඬව විරෝධතාවක් සිදු කිරීමත් විශේෂත්වයක්.

මේ තරගයේ දී තවත් විශේෂ දෙයක් සිදු වුනා. අංක 10 කියන්නේ පාපන්දු ක්‍රීඩාවේ තරමක් විශේෂ අංකයක්. ඕනෑම පාපන්දු කණ්ඩායමක 10 අංකය සමඟ ක්‍රීඩා කරන්නේ කණ්ඩායමේ වැදගත් ම ක්‍රීඩකයෙක් බවට පිළිගැනීමක් තියෙනවා. (ඒක එහෙම නොවෙන අවස්ථා ඕන තරම් ඉතිහාසයෙන් ම ගෙනත් පෙන්වන්න පුළුවන්.)  

බ්‍රසීලය පැත්තට ගියොත් පසුගිය වසරේ මිය ගිය Peleගේ අංකය වුනේ 10. ඒ වගේ ම මෑත කාලීන ව බ්‍රසීලය වෙනුවෙන් අංක 10 ජර්සිය අයිතිය තිබුණේ Neymar. නමුත් Neymarට ආබාධයක් නිසා මේ තරගය අහිමි වෙනවා. ඒ නිසා මේ තරගයේ දී අංක 10 ජර්සිය ඇඟ ලා ගන්න අපේ කතා නායකයා Viniට අවස්ථාවක් ලැබෙනවා. 

මේ විදිහට ක්‍රීඩකයින් විසින් භාවිත කරපු එක් ජර්සියක් තරගයෙන් අනතුරුව කණ්ඩායමේ සියලු ම ක්‍රීඩකයින්ගේ අත්සන් සහිතව වෙන්දේසි කරන්න බලාපොරොත්තු වෙන බව සහ ඒ වෙන්දේසියෙන් ලැබෙන මුදල මෙවැනි ම ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙන ආයතන වෙනුවෙන් යොදවන බව දැන ගන්න ලැබෙනවා. 

ඒ වගේ ම තවත් එක් ජර්සියක් බ්‍රසීලයේ Rio de Janeiro හි CBF කෞතුකාගාරයේ තැන්පත් කිරීමටත් නියමිතයි.

ඒ වගේ ම ඉදිරියේ දී Amazon වනාන්තරය සුරක්ෂිත කිරීම සංකේතවත් කිරීම වෙනුවෙන් කොළ පැහැ හැඳුමකින් බ්‍රසීලය සැරසෙන්න සූදානම් (තවමත් නිල වශයෙන් ප්‍රකාශ වෙලා නැහැ) බවත් දැන ගන්න ලැබෙනවා. 

කොහොම වෙතත් බ්‍රසීලය විසින් ජාතිවාදයට එරෙහිව සහ Vini වෙනුවෙන් සිදු කළ මේ ඉදිරිපත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි. විශේෂයෙන්ම පාපන්දු වගේ ක්‍රීඩාවක ක්‍රීඩකයින් වැඩි වශයෙන් නියෝජනය කරන්නේ තමන්ගේ රට නෙවෙයි, වෙනත් රටක ක්‍රීඩා සමාජයක්.  

ඒත් තමන්ගේ රට සහ රටේ සහෝදර ජනතාව ඕනෑම වෙලාවක තමන්ගේ ජීවිතයේ අසීරුතම අවස්ථාවක වුනත් තමන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන හැඟීම Viniට එදා සහ තවමත් දැනෙනවා ඇති. 

ඒ හැඟීම මිල කරන්න බැරි විදිහේ එකක්! 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<