වනිඳුගේ සුපිරි පන්දු යැවීම හමුවේ RCBට දැවැන්ත ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3067
Wanindu Hasaranga
IPLT20.com

වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම සහ නායක Faf du Plessisගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයෙන් Sunrisers Hyderabadට එරෙහිව ලකුණු 67ක පහසු ජයක් වාර්තා කිරීමට Royal Challengers Bangalore ඊයේ (8) සමත් වුනා.

Wankhede ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ RCB පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම විරාත් කෝලි ලකුණු නොලබා දැවී ගියා. ඔහු මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය තෙවැනි අවස්ථාව එයයි.

පන්දු 50කින් ලකුණු 73ක් ලබා ගත් නායක Fafගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 8කින් ඔහුගේ වර්ණවත් වුනා. අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ Rajat Patidar ලකුණු 48යි (38).

Glenn Maxwell 4 පහර 3ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 24කින් ලකුණු 33ක් රැස් කළා. RCB ලකුණු සටහනට සාර්ථක නිමාවක් සටහන් කර දුන් කඩුලු රකින පිතිකරු Dinesh Karthik පන්දු 8ක් පමණක් වැය කර නොදැවී වේගවත් ලකුණු 30*ක් වාර්තා කළේ 6 පහර 4ක් සහ එක් 4 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් කරගෙනයි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Jagadeesha Suchith ලකුණු 30කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරගය ජය ගැනීම සඳහා Sunrisers කණ්ඩායමට ලකුණු 193ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත් ඔවුන්ට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 125ක් පමණයි. හුදකලා සටනක නිරත වුනු Rahul Tripathi පන්දු 37කින් ලකුණු 58ක් රැස් කළේ 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්.

Sunrisers ඉනිම සුනුවිසුනු කළ වනිඳු ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තේ නිලකුණු පන්දු 14ක් ක්‍රියාත්මක කරමින්. ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී වනිඳු නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු දෙකක් දවා ගැනීම කැපී පෙනුණා.

Josh Hazlewood සිය පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගත්තා. වනිඳු තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර දැනට කඩුලු 21ක් දවාගෙන තිබෙන ඔහු මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැන සිටිනවා.

Royal Challengers Bangalore – 192/3 (20): Faf du Plessis 73, Rajat Patidar 48, Glenn Maxwell 33, Dinesh Karthik 30*, Jagadeesha Suchith 2/30.

Sunrisers Hyderabad – 125 (19.2): Rahul Tripathi 58, Aiden Markram 21, Wanindu Hasaranga 5/18.

RCB කණ්ඩායමට ලකුණු 67ක ජයක්

  • තරගයේ වීරයා – වනිඳු හසරංග

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<