වසර 65ක් පුරා පීඩා දෙන නවසීලන්ත ක්‍රිකට් වාර්තාව

107

1955 වසර වන විට ගෙවෙමින් පැවතියේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම කාල වකවානු අතරින් එකකි.

එම වසරේ දී එංගලන්ත කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයක දී නවසීලන්ත පිතිකරුවන් සියල්ල ලකුණු 26ක් තරම් ඉතා අඩු සංඛ්‍යාවකට දැවී ගිය අතර අද වන විට එය සිදු වී වසර 65ක තරම් දීර්ඝ කාලයක් ගතව ඇතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ එක් ඉනිමක දී වාර්තා වූ අවම ලකුණු සංඛ්‍යාව ලෙස එය තවමත් ඉතිහාස පොත් අතරට එක්ව සිටී. 

ඒ අනුව නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශාල කැළලක් ලෙස සටහන්ව ඇති මෙම වාර්තාව වෙනත් කණ්ඩායමක් විසින් බිඳ හෙළන තුරු එරට ක්‍රිකට් ලෝලීන් බලා සිටින්නේ දැඩි අපේක්ෂාවෙනි. ඕනෑම කණ්ඩායමක් කිසියම් අවස්ථාවක දී ටෙස්ට් ඉනිමක ආරම්භයේ සිට කඩා වැටෙනු දකින නවසීලන්ත ක්‍රීඩාලෝලීන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ ලකුණු 26කට අඩු සංඛ්‍යාවකට ඔවුන්ගේ සියලු කඩුලු දැවී යනු දැකීමයි. 

“නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාලෝලියෙක් විදිහට අවංකවම කිව්වොත් මේ අපේ වාර්තාව බිඳහෙළන ඕනම කණ්ඩායමකට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒක අපිට ගොඩක් ලැජ්ජා සහගත දෙයක්. කවුරුම හරි කණ්ඩායමක් ලකුණු 25ක් හරි ඊට වඩා අඩු ගාණක් හරි ගැහුවොත් ඒක අපිට ලොකු සතුටක්.”

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාලෝලී කණ්ඩායමක් වන ‘The Beige Brigade’හි සම නිර්මාතෘවරයෙකු වන Paul Ford මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

නමුත් අද පවතින ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එදා 1955 වසරේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා ඉතා වෙනස් එකකි. මෙම සිදුවීම සිදු වන විට ඉන්දියාව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරගෙන ගතව තිබුණේ වසර 3ක තරම් කෙටි කාලයකි. එමෙන්ම පාකිස්තානය ටෙස්ට් වරම් දිනාගෙන ඒ වන විට වසර 2ක තරම් සුළු කාලයක් ගතව තිබූ අතර අනෙක් පසින් ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගන්නේ ඊට වසර 27ක දීර්ඝ කාලයකින් පසුවයි. 

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් දැවැන්තයින් ලෙස ඒ වන විට සිය ස්ථානය ස්ථාපනය කරගෙන සිටි අතර දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඒ වන විට එකඳු ටෙස්ට් ජයග්‍රහණයක් හෝ වාර්තා කරගෙන නොතිබුණු නවසීලන්තය ඊට පසුව සිටි කණ්ඩායම් විය. 

ඒ අනුව එම වසරේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා නවසීලන්තය බලා පැමිණෙන්නේ වසර 22කට පසුව පළමු වරට ඕස්ට්‍රේලියාවේ දී අළුබඳුන ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ද වාර්තා කර ගැනීමෙන් අනතුරුව ය. 

ඒ වන විට නවසීලන්ත කණ්ඩායම වසරකටත් වැඩි කාලයක් සඳහා කිසිදු තරගයක් ක්‍රීඩා කර නොතිබූ අතර අනෙක් පසින් අස්ථිර කණ්ඩායම් තේරීම හමුවේ ද ඔවුන් අර්බුදයකට මුහුණ පා සිටියේ ය.

එවන් තත්වයක් යටතේ වුවද නවසීලන්ත ක්‍රීඩකයින් Dunedin හිදී පැවති පළමු තරගයේ දී ප්‍රතිවාදීන් හට තරමක අභියෝගයක් ලබා දෙන්නට සමත් වූ නමුත් අවසානයේ දී ඉන් කඩුලු 8ක ජයක් වාර්තා කරගන්නට ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින් සමත් විය. Auckland හිදී පැවති දෙවන තරගයේ ද ආරම්භයේ දී නවසීලන්තය හොඳ සටනක් ලබා දුන්නේ කණ්ඩායම් දෙකේම පළමු ඉනිම් අවසන් වන විට එංගලන්තයට වඩා ඔවුන් ලකුණු 46ක් පමණක් පිටුපසින් සිටිමිනි. 

කෙසේ නමුත් දෙවන ඉනිම වන විට පිටියේ තත්වය ද වෙනස්ව පැවති අතර ඒ අනුව නවසීලන්ත ඉනිම ද වේගයෙන් කඩා වැටෙන්නට විය.   

ක්‍රීඩකයින් 5 දෙනෙක් හට කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර නැවතත් ක්‍රීඩාගාරය බලා පිටත්ව යාමට සිදු වූ අතර අනෙක් පසින් එහි දී Bert Sutcliffe වාර්තා කර ගත් ලකුණු 11 එම නවසීලන්ත ඉනිමේ පිතිකරුවෙකු විසින් ලකුණු 10 සීමාව පසු කළ එකම අවස්ථාව ලෙස ද සටහන් වන්නට විය. 

“දවස් දෙකහමාරක වගේ කාලයක් පුරාවට හොඳින් ක්‍රීඩා කරලා අන්තිමට මෙහෙම නින්දා සහගත තත්වයකට මුහුණ දෙන්න සිදු වුන එක හරියට නිකං අපිට වුන ලොකු අසාධාරණයක් වගේ.”

ලකුණු 26ක් තරම් අඩු සංඛ්‍යාවකට සියලු දෙනා දැවී යාමෙන් සිදු වූ අවමානය පිළිබඳව කම්පාවට පත්වූ Sutcliffe ඒ පිළිබඳව එවිට අදහස් දක්වමින් පවසා ඇත.

ඒ වන විට කණ්ඩායමේ නායකත්වය දැරූ Geoff Rabone මෙහි දී මීට අදාළව සිය කණ්ඩායම සාධාරනීකරණය කරමින් ඔවුන්ව ආරක්‍ෂා කළත්, මෙම සිදුවීම පාදක කරගෙන නවසීලන්ත වාසීන්ගෙන් දැඩි විවේචන එල්ල වන්නට විය. 

“අපේ එදා ඒ පිතිකරණය මොනවා වුනත් ඒක නින්දා සහගත එකක් නෙමෙයි. එදා හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් කළා. නමුත් අන්තිමේ දී එංගලන්තය අපිව අභිබවමින් හොඳට ක්‍රීඩා කළා. නමුත් අපි හැමෝම අපිට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරලා තියෙද්දීත් කොහොමද ඒ පිතිකරණය නින්දා සහගත එකක් වෙන්නේ?”

ඔහු පසුව මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත. 

කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ මෙම පසුබෑම තාවකාලික එකක් පමණක් වූ අතර ඊට වසරක පමණ කාලයකට පසුව ඔවුන්ගේ ඉතිහාසයේ 45 වැනි ටෙස්ට් තරගයේ දී ඔවුන් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කරගන්නට සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. 

අනෙක් පසින් නවසීලන්තයේ එම නින්දා සහගත වාර්තාව අවස්ථාවන් කිහිපයක දී ම බිඳ වැටීමට ඉතා ආසන්නයට ද පැමිණ ඇත. 

තවත් කියවන්න;

කෙසේ නමුත් Ford මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටින්නේ 2018 වසරේ දී Auckland ක්‍රීඩාංගණයේ දී එංගලන්තයට ම එරෙහිව පැවති දිවා රාත්‍රි ටෙස්ට් තරගයක දී නවසීලන්තයටම එම වාර්තාව බිඳ හෙළීමට තිබී ගිලිහී ගිය අවස්ථාව ඒ වෙනුවෙන් එළඹි හොඳම අවස්ථාව වන බවයි. 

එහි දී Tim Southee විසින් ප්‍රතිවාදී පිතිකරු Moeen Aliගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ එංගලන්තය ලකුණු 23කට කඩුලු 8ක් දැවී ඉතා අවදානම් තත්වයක පසුවන්නට විය. එහි දී Ali දැවී ගියේ එංගලන්ත ඉනිමේ කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර දැවී ගිය 5 වැනි ක්‍රීඩකයා ලෙසයි. 

නමුත් එහි දී ක්‍රියාත්මක වූ Craig Overton නොදැවී ලබා ගත් ලකුණු 33ත් සමඟ එංගලන්තය එම අවදානමෙන් මිදී ලකුණු 58ක් දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් මෙම තරගය පුරාවට සිය අණසක පතුරුවා ගත් නවසීලන්ත ක්‍රීඩකයින් අවසානයේ මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 49ක ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

“අපි හැම පන්දුවක්ම ලොකු උනන්දුවකින් බැලුවේ අපේ ඒ වාර්තාව එදා එංගලන්තය සතු වෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින්. මොකද ඊට පස්සේ අපිට ඒක ගැන වදවෙන්න දෙයක් නැහැ. නමුත් අන්තිමට කොහොම හරි ඒක වුනේ නැහැ,” යනුවෙන් අදහස් දක්වමින් Ford පවසා සිටින්නේ එම වාර්තාව මේ වන විට නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ලකුණක් බවට පත්ව ඇති බවයි. 

“ඒ වාර්තාව දැන් අපේ නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේම කොටසක් වෙලා තියෙනවා. සමහර විට එදා ඒක එහෙම නොවුණා නම් මෙහේ ක්‍රිකට් ක්‍රීඩාව ඊටත් වඩා දුර්වල තත්වයක තියෙන්න තිබුණා. නවසීලන්තයේ ක්‍රිකට් ලෝලීන් ඒක නරඹන්නේ ජයග්‍රහණ වෙනුවෙන්ම විතරක් නෙමෙයි. ඔවුන් ඉන්නේ ඒකෙන් හොඳ විනෝදයක් ලබා ගන්න. ඉතින් සමහර වෙලාවට ඒ වගේ ගොඩක් දුක හිතෙන දේවල් සිද්ධ වුනත් ඒවා තරගයේම කොටසක්.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<