අර්ජුනගේම දක්‍ෂතා දැක්වූ තිසර පෙරේරා

229

අර්ජුන රණතුංගගේ අඩුව පිරවීම හෝ ඔහු දැක්වූ දක්‍ෂතාම ප්‍රදර්ශනය කිරීම ඕනෑම ක්‍රීඩකයෙකුට සුවිසල් අභියෝගයක් විය හැකි වුවත් තිසර පෙරේරා එය සිදු කරමින් සිය සිහිනය සැබෑ කරගන්නට මේ වන විට සමත්ව සිටී. 

අර්ජුනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන විට තිසර වයස අවුරුදු 7ක තරම් කුඩා දරුවෙකු වුවත් එම දිනයේ සිට ඔහුට තිබූ එකම සිහිනය වූයේ අර්ජුන දැක්වූ එවන් දක්‍ෂතාවයක් කෙදිනක හෝ සිය ක්‍රිකට් දිවිය තුළ ද දැක්වීම පමණි. 

DRS වලින් හොඳම විනිසුරු කවුද? කුමාර් ධර්මසේන ඒ අතරින් ඉදිරියෙන් ද?

මීට වසර කීපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට…..

1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ දී අර්ජුන විසින් හතරේ පහරක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය හිමිකර දීම මෙරට ඕනෑම ක්‍රිකට්ලෝලියෙකුට දැඩි සතුටක් ගෙන දෙනු ලබන දසුනක් වන බව නොඅනුමාන ය. 

“කවදා හරි දවසක මට කරන්න ඕන වෙලා තිබුණ එකම දේ තමයි ලෝක කුසලාන අවසාන මහා තරගයක දී හතරේ පහරක් හරි හයේ පහරක් හරි වාර්තා කරගනිමින් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම. ඒක තමයි මගේ සිහිනය වෙලා තිබ්බේ,” තිසර ThePapare.com සමඟ සජීවීව එක්වෙමින් අදහස් දක්වමින් පැවසීය. 

2014 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ Mirpur හිදී පැවති අවසාන මහා තරගයේ දී තිසර තුළ වූ ඔහුගේ මෙම එකම සිහිනය සැබෑවක් බවට පත්වන්නට විය. මෙම අවසන් මහා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ආසන්න අවස්ථා 4ක දී ලෝක කුසලාන අවසාන මහා තරග පරාජයට පත්ව තිබුණි. 

ඒ 2007 සහ 2011 වසර වල එක්දින ලෝක කුසලාන තරගාවලිවල මෙන්ම 2009 සහ 2012 වසරවල පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිවල ද අවසාන මහා තරගවලට සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ශූරතා දිනා ගන්නට ඉතා ආසන්නයට පැමිණියත් අවසානයේ ඔවුන් එම තරග පරාජයට පත්වීමත් සමඟයි. කෙසේ නමුත් 2014 පන්දුවාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී තිසර හට එම ඉතිහාසය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් විය.  

එම තරගයේ දී කුමාර් සංගක්කාර අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කරන්නට සමත් වූ අතර ඊට පෙර තිසර ඔහු සමඟ පිටියේ එක්වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 52ක් අවශ්‍යව තිබුණි. 

ගුරාට අකුරු වැරැද්දූ “වාසි”

ඔබ වැඩි කල් ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්නේ නැහැ” ඒ MRF ක්‍රිකට් ඇකඩමියේ දී ඔහුගේ……….

ඒ අවස්ථාව වන විට තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවතිය නමුත් එහි දී වහාම ක්‍රියාත්මක වූ තිසර පන්දු 14ක දී හයේ පහරවල් 3ක් ද සමඟින් ලකුණු 23ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ ආසන්නයට රැගෙන එන්නට සමත් විය. 

“සංගක්කාර කියන්නේ විශිෂ්ට පිතිකරුවෙක්. මම පිටියට පිවිසුණ මොහොතේම ඔහු මට හොඳට පැහැදිලි කළා මම මොකක්ද කරන්න ඕනේ කියලා. මට ගහන්න පුළුවන් තැනකට පන්දුව වැටුණොත් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා ඔහු මට කිව්වා. ඉතින් මං කළේ ඒ කියපු දේ තමයි,” තිසර පැවසීය.

අවසානයේ තිසර ඉදිරියට පැමිණ අලංකාර හයේ පහරක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකාවට 2014 පන්දුවාර 20 ලෝක කුසලානය හිමිකර දුන්නේ ඔහු තුළ වූ එකම සිහිනය ද යථාර්ථයක් බවට පත්කර ගනිමිනි. 

“ඒ හයේ පහර ගැන මට වචනවලින් කියන්න බෑ. ලෝක කුසලාන අවසාන මහා තරගයක දී හතරක් හරි හයක් හරි වාර්තා කරගනිමින් ලෝක කුසලානයක් දිනා ගන්න එක තමයි මට හැමදාමත් තිබ්බ එකම සිහිනය. Ravichandran Ashwin කියන්නේ හොඳ පන්දු යවන්නෙක්. ඔහු ඒ පන්දුව ටිකක් ඈතින් යොමු කළේ. එතැන දී මාව ‘stump’ වෙලා දැවී යන්නත් ඉඩ තිබුණා. ඒත් මට පුළුවන් වුනා කොහොම හරි ඒ පන්දුවට පහරක් එල්ල කරන්න. එහි දී පන්දුව හයේ සීමාව දක්වා ගියාම මට පුදුම සතුටක් දැනුණේ. මට පුළුවන් වුනා මගේ සිහිනය සැබෑවක් කරගන්න.”

අනතුරුව 2017 වසරේ දී තිසර හට සුළු කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව ද හිමි විය. 2017 ඔක්තෝබර් මාසයේ දී යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සඳහා ඔහුට එම නායකත්වය දැරීමේ අවස්ථාව හිමි වූ අතර තිසර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ එහි දී ඔවුන්ට ලබා දුන් දැඩි, සුවිශේෂී ආරක්‍ෂාව හරහා ක්‍රීඩකයින් හට ඔවුන් ද රාජ්‍ය නායකයින් වන බවට හැඟුණු බවයි. 

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සිය පාසල තුළ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ අවධියේ දී ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ බවත්, පසුව කණ්ඩායමේ සමබරතාවය වෙනුවෙන් සිය පාසල් දිවියේ අවසන් කාලය වන විට ඔහුගේ පුහුණුකරු වූ හර්ෂ ද සිල්වා ඔහුව මැදපෙළ ක්‍රීඩා කිරීමට යොමු කළ බවත් ය. 

දැවැන්ත මෙන්ම වේගවත් පහරවල් එල්ල කිරීමට තිසර දක්වන සුවිශේෂී දක්‍ෂතාවය සහ තරගය ආරම්භයේ දී ක්‍රියාත්මක වන ‘powerplay’ පන්දුවාර කිහිපය නිසාවෙන් ඔහුට ඉතා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වීමේ හැකියාව ද පවතින බව නම් නොඅනුමාන ය. කෙසේ නමුත් තිසර පවසා සිටින්නේ කණ්ඩායමට අවශ්‍ය පරිදි ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට ඔහු තුළ කිසිදු පැකිළීමක් නොමැති බවයි. 

ඒ අනුව මේ වන විට පවතින ‘Coronavirus’ වසංගත තත්වය පහව ගොස් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භ වූ විට මෙම කාරණය ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු Mickey Arthur හට සිතා බැලීමට සිදු වන එක් උපක්‍රමයක් විය හැකිය.   

The Island වෙත රෙක්ස් ක්ලෙමන්ටයින් විසින් රචිත Thisara on emulating Arjuna in a World Cup final ලිපියේ සිංහල පරිවර්තනයකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<