චම්පක රාමනායක මාලිංගව වීරයෙක් කළ හැටි

166

ශ්‍රී ලංකා වත්මන් පන්දුවාර 20 කණ්ඩායමේ නායක සහ ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සාර්ථකත්වයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන පුහුණුකරුවකු වන චම්පක රාමනායක බෙහෙවින්ම ඉවහල් වූ පුද්ගලයෙක් වන බව ඕනෑම කෙනෙකු හොඳින් ම දන්නා කරුණකි. 

තැනේ හැටියට ඇණේ ගැසූ ආනෝල්ඩ්

සෙපරමාදු ලසිත් මාලිංග ස්වාර්ණජිත් උපන්නේ 1983 වසරේ අගෝස්තු මස 28 වැනි දින ගාල්ල රත්ගම නම් ග්‍රාමයේ දී ය. කුඩා කල ඔහුගේ ප්‍රියතම ක්‍රියාකාරකම වූයේ සිය මිතුරන් සමඟ ගමේ ඇති පොල් වතු වල සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමයි. වයස අවුරුදු 13 පමණ වන විට සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ඔහු එහි දී කෙමෙන් කෙමෙන් ඔහුගේ අසාමාන්‍ය ‘slinging’ පන්දු යැවීමේ ඉරියව්ව වර්ධනය කරගන්නට විය. 

පළමුව විද්‍යාලෝක මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මාලිංග සිය අධ්‍යාපනය කටයුතුවල දී ද ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ අතර ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වන ඔහු එහි දී උසස් පෙළ අධ්‍යාපනය සඳහා ගාල්ලේ ප්‍රමුඛ පෙළේ විද්‍යාලයක් වන මහින්ද විද්‍යාලයට ඇතුළත් වීමට වරම් දිනා ගනී. කෙසේ නමුත් ඔහුට මෙලෙස නව පාසලක් වෙත ඇතුළත් වීමට අධ්‍යාපනයටත් වඩා ඉවහල් වූයේ වැඩිදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සඳහා ඔහුට තිබූ අවශ්‍යතාවය යි. 

වයස අවුරුදු 16 වන විට විද්‍යාලෝක මහා විද්‍යාලයේ දී ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව නිසි පරිදි ආරම්භ කිරීමට මාලිංග කටයුතු කරනු ලැබූ අතර එහි දී ඔහුගේ දෙවැනි තරගයේ දී ම ඔහු නෙළුව ජාතික පාසල් කණ්ඩායම හමුවේ කඩුලු 6ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. එහි දී තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කීර්ති ධර්මප්‍රිය ඒ වන විට ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයා ලෙස ද කටයුතු කරනු ලැබූ අතර ඔහු මාලිංග හට ආරාධනා කර සිටියේ එහි විදුහල්පතිවරයා මුණගැසී ඔවුන්ගේ පාසල් ක්‍රිකට් කණ්ඩායම හා එක්වන ලෙසයි. 

ඒ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මහින්ද විද්‍යාලයට ඇතුළත් වන මාලිංග හට චම්පක රාමනායක මුණගැසෙන්නේ 1999 වසරේ දී ය. දක්‍ෂතාවලින් යුතු වේගපන්දු යවන යොවුන් ක්‍රීඩකයින් සොයාගැනීම සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගී වීමට මාලිංග තීරණය කර තිබූ අතර ඒ හරහා ඔහුගේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇතැයි ඔහු කිසිවිටෙකත් නොසිතන්නට ඇත. 

ගාල්ල ක්‍රිකට් සමාජයේ ඒ වන විට නායක, පුහුණුකරු හා කළමනාකාර ධූර හෙබවූ චම්පක විසින් එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර 1986 සිට 1995 දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබීමත් සමඟ ඔහු ඒ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව අත්දැකීම් බහුල පුද්ගලයෙක් විය. ටෙස්ට් තරග 18ක දී කඩුලු 44ක් සහ එක්දින තරග 62ක දී කඩුලු 68ක් දවා ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි චම්පක ඒ වන විට සිය පළමු පෙළ ක්‍රිකට් සමාජය තුළ කටයුතු කරන අතරතුර නව වේගපන්දු යවන්නන් සොයාගැනීමේ කාර්යයේ ද නිරත වන්නට විය. 

ඔහු විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට එක්වුණු මාලිංග ඔහුට හිමි වූ අවස්ථාවේ දී වේගයෙන් දිවගොස් ඔහුට හැකි උපරිම වේගයෙන් චම්පක දෙසට පන්දුව යොමුකරන්නට විය. චම්පක හට පන්දුව දැකීමට හෝ අවස්ථාවක් නොවූ අතර මාලිංගගේ පන්දු යැවීම පිළිබඳව ඔහුට කිසිවක් සිතා ගත නොහැකි විය. මාලිංග විසින් පන්දු කිහිපයක් යැවීමෙන් අනතුරුව ඔහුගේ දක්‍ෂතාවන් පිළිබඳව තේරුම්ගත් චම්පක ඒ අනුව ඔහුට සිය ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට ආරාධනා කරන්නට විය. 

එම ආරාධනාව පිලිගනිමින් පුහුණුවීම් සඳහා එක්වූ මාලිංග වයස අවුරුදු 16 තරම් කුඩා වයසක දී පැයට කි.මී. 135ට අධික වේගයකින් පන්දු යවන්නට සමත්කම් දැක්වීය. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ද ඔහුටම ආවේණික එකක් වූ අතර ඔහු සතුව සුවිශේෂී දක්‍ෂතාවයක් ඇති බව චම්පක හට තවදුරටත් වැටහෙන්නට විය. මෙහි දී චම්පක සිදු කළ වටිනාම කාර්යභාරයක් වන්නේ මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කිරීමට තීරණය නොකර එය සාම්ප්‍රදායික වේගපන්දු යවන්නන්ගේ පන්දු ඉරියව්වක් ලෙස පෙනෙන ආකාරයට සෑදීමට උත්සාහ දැරීමයි. 

ඒ වන විටත් මාලිංග සිය උපරිම වේගයෙන් පන්දු යැවීමට සමත්ව සිටියත් bouncer පන්දුවක් යනු කුමක් ද, reverse swing යනු කුමක් ද හා පිටියේ ඇති පන්දු රැකීමේ සැලැස්මට අනුකූලව පන්දු යවන්නේ කෙසේ ද වැනි කාරණා පිළිබඳව ඔහු හට නිසි අවබෝධයක් නොවීය. ඒ අනුව ඔහුගේ එම කුසලතාවයන් වර්ධනය කිරීම අවශ්‍යව තිබූ අතර මේ බව වටහා ගත් චම්පක කෙමෙන් කෙමෙන් ඔහුට ඊට අදාළ දැනුම ලබා දෙන්නට විය. ඔහුගේ උපදෙස් පිළිපදිමින් මාලිංග ද සිය පුහුණුකරු ලබා දුන් නව දැනුම පිටිය තුළ ක්‍රියාවට නංවන්නට සිය උපරිම උත්සාහය දැරීය. 

අර්බුද රැසක් මැද 83 දී සිංහයින් දිනූ ප්‍රථම එක්දින වික්‍රමය

නොසිතූ මොහොතක ලැබුණු මංගල පළමු පෙළ තරගය – 

වසරක පමණ කාලයක් පුහුණුවීම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව 2001 වසරේ දී මාලිංගව ගාල්ල ක්‍රිකට් සමාජ සංචිතයට ඇතුළත් කිරීමට චම්පක තීරණය කරනු ලැබූ නමුත් ඔහුට ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත් වන්නට අවස්ථාවක් ලැබුණේ නැත. 

කෙසේ නමුත් ඔවුන්ගේ නායක මෙන්ම ආරම්භක පන්දු යවන්නා ලෙස ද කටයුතු කළ චම්පක හට එක් දිනක දී සිය බෙල්ල ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි වීමත් සමඟ ඊට පසුදින පැවති කොළඹ ක්‍රිකට් සමාජය සමඟ තරගයක් සඳහා 17 හැවිරිදි මාලිංගව කණ්ඩායමට ඇතුළත් කරන්නට චම්පක තීරණය කරනු ලැබීය. 

නොසිතූ මොහොතක ලැබුණු මෙම සිය මංගල පළමු පෙළ තරගයේ දී චම්පකගෙන් ලබා ගත් ගුරුහරුකම් උපරිමයටම යොදා ගත් මාලිංග එහි දී විශිෂ්ට දක්‍ෂතා දක්වමින් කඩුලු 8ක් දවාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වන්නට සමත් විය. 

ජාතික තලයේ ක්‍රීඩකයින් හමුවේ ඔහු දැක්වූ මෙම දක්‍ෂතාවය කැපී පෙනෙන්නට වූ අතර මීට පෙර ඔහු ලෙදර් පන්දුවෙන් තරග 5ක් පමණක් ක්‍රීඩා කර තිබීම ද මෙහි විශේෂත්වයකි. ඉන් තරග 2ක් ඔහු පාසලේ දී ක්‍රීඩා කරනු ලැබූ ඒවා වන අතර ඉතිරි තරග 3 ගාල්ල ක්‍රිකට් සමාජය වෙනුවෙන් ඔහු සහභාගී වූ පුහුණු තරග විය. මාලිංගගේ මෙම දක්‍ෂතා හමුවේ ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා දීමේ අරමුණ ඇතිව චම්පක විසින් සිය ක්‍රිකට් ක්‍රීඩා දිවියට සමු දීමට තීරණය කරනු ලබන අතර අනතුරුව ඔහු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට සිය සම්පූර්ණ අවධානය යොමු කරන්නට විය. 

පසුව එම වසරේ දී ම චම්පක විසින් මාලිංගව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දැල් තුළ පන්දු යැවීම සඳහා රැගෙන යනු ලබන අතර ඒ වන විට මාලිංග කෙට්ටු ශරීරයකින් යුතු වුව ද එහි දී ජාතික කණ්ඩායමේ පිතිකරුවන් හට ද ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඔහු සමත් විය. ඔහු පිළිබඳව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් එවකට අදහස් දක්වමින් පවසා තිබුණේ;

“ගාල්ලෙන් එක කොල්ලෙක් එනවා පුහුණුවීම් වලට. එයා පන්දු යවන වේගෙට අපිට පන්දුව වත් හරියට පෙන්නේ නැහැ. චම්පකට අපි කියන්නේ ඕනේ මීට පස්සේ එයාව එක්කන් එන්න එපා කියලා,” යනුවෙනි. 

මාලිංගගේ දක්‍ෂතා දැකීම ඔවුන්ගේ පුදුමයට හේතු වී තිබූ අතර තවදුරටත් ඔහුගේ පන්දු යැවීමේ හමුවේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වනු ඇතැයි ද ඔවුන් බියෙන් පසුවන්නට විය. ඒ අනුව ඔහුගේ භයානක පන්දු යැවීම හමුවේ ඔහුට නැවත පුහුණුවීම් සඳහා නොපැමිණෙන ලෙස පවසන තත්වයක් ද එහි දී උදා වන්නට විය. 

මාලිංග ඒ වන විට ඉතා කෙට්ටු ශරීරයකින් හෙබි ක්‍රීඩකයෙකු වුවත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව කිසිදු ගැටලුවක් තිබුණේ නැත. පිහිනීමේ යෙදීම ඔහුගේ විනෝදාංශය වූ අතර සෑම උදෑසනකම පාහේ ඔහුගේ ගම පසුපස ඇති ගංගාව වෙත ගොස් එක් ඉවුරක සිට අනෙක් ඉවුර දක්වා පිහිනීමේ යෙදීමට ඔහු පුරුදුව සිටින්නට විය. එමෙන්ම ඔහු දැඩි කඩිසර බවක් ද ප්‍රදර්ශනය කළ අතර නිතරම තැඹිලි ගස් නඟිමින් තැඹිලි කැඩීමත්, බොහෝ දිනවල රාත්‍රිය වනතුරුම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමත් ඔහුගේ සාමාන්‍ය දින චර්යාව පවට පත්ව තිබුණි. 

ඉන් වසර 3කට පමණ පසුව ශ්‍රී ලංකා මාධ්‍ය තුළ පුවත් පැතිර යන්නට වූයේ අසාමාන්‍ය ඉරියව්වක් සහිත 21 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයෙක් එළඹෙන සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානමෙන් පසුවන බවයි. ඒ අනුව මුහුදේ සහ පොල් වතු වල ක්‍රිකට් ගැසූ මාලිංග ඒ ආකාරයට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නට විය. මෙම සුවිශේෂී, භයානක වේගපන්දු යවන්නා මේ ආකාරයට ක්‍රිකට් ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය චම්පක හට හිමි විය යුතු බව විවාදයකින් තොරව ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණකි. 

එම ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමට පෙර ඔහු Northern Territory Chief Minister’s කණ්ඩායම සමඟ පැවති සංචාරක තරගයක් සඳහා සහභාගී වූ අතර එහි දී ඔහු කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූයේ එම තරගය තුළ ඉහළම දක්‍ෂතා දැක්වූ පන්දු යවන්නා බවට පත්වෙමිනි. 

ඉන් කඩුලු 6ක්ම ලකුණු 90ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ඔහු පළමු ඉනිම තුළ දවා ගනු ලැබූ ඒවා වන අතර ඒ අතරට එරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ Simon Katich කිසිදු ලකුණක් ලබා ගැනීමට පෙර ඔහු දවා ගත් කඩුල්ල ද ඇතුළත් වීම සුවිශේෂී වේ.  

විශිෂ්ට ටෙස්ට් මංගල තරගයක් – 

2004 වසරේ ජූලි මස 01 වැනි දින ඕස්ට්‍රේලියාවේ Darwin නුවර පැවති ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර මාලිංග හට ඔහුට නියමිත ටෙස්ට් හිස්වැසුම පිරිනැමුණේ ඔහු ශ්‍රී ලංකාවේ 99 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඊට පෙර ඔහු පළමු පෙළ තරග 30ක දී කඩුලු 92ක් දවා ගන්නට සමත්ව තිබුණි. 

තරගය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර පළමු පන්දුවාරය යොමු කළ චමින්ද වාස් සුපුරුදු පරිදි නිලකුණු පන්දුවාරයක් යවන්නට සමත් විය. මීළඟ පන්දුවාරය යොමු කිරීමේ වගකීම පැවරෙන්නේ ගාල්ලෙන් පැමිණි නවක ක්‍රීඩක මාලිංග හට යි. ඒ වන විට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටි ප්‍රබලතම කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව හමුවේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු පන්දුවාරය යොමුකිරීම ඕනෑම පන්දු යවන්නෙකුට විශාල පීඩනයක් වනු ඇති බව නොඅනුමාන ය. 

නායක අතපත්තු මාලිංග වෙත පන්දුව පිරිනමමින් ඔහුව දිරිගැන්වීමට වචන කිහිපයක් පවසා ඔහුගේ පිටට තට්ටුවක් ද දමන්නට විය. අනතුරුව නුවන් සොයිසා ද මාලිංග වෙත ගොස් ඔහුගේ කරට අත දමා ගනිමින් ඔහුව දිරිගන්වමින් සිය පළමු ජාත්‍යන්තර පන්දුව යොමුකිරීමට පෙර උපදෙස් කිහිපයක් ලබා දෙන්නට විය. 

පසුව වේගයෙන් දිවවිත් ඔහු යොමුකළ පළමු පන්දුව ‘leg side’ කලාපයෙන් යොමු වූ ඉතා දුර්වල පන්දුවක් වන්නට විය. කෙසේ නමුත් ඉන් අධෛර්යමත් නොවූ ඔහු සිය දෙවැනි පන්දුවේ දීම ඔහු සතු වේගය ලොවට පෙන්වා දුන්නේ පැයට කි.මී. 143.4ක වේගවත් පන්දුවක් යොමුකරමිනි. එම පන්දුවාරයේ ඉතිරි පන්දු හතර ද ඉතා වේගයෙන් යොමුකළ ඔහු එහි දී දැමූ එක් පන්දුවක් වත් පැයට කි.මී. 139 සීමාවට අඩුවෙන් සටහන් වූයේ නැත. 

තරගය ඉදිරියට යත්ම කෙමෙන් කෙමෙන් මාලිංග ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව අවස්ථාවන් කිහිපයක දී ම අපහසුතාවයට පත්කරන්නට සමත් විය. මාලිංගගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව අනුව ඔහු පන්දුව මුදාහැරීමේ දී ඔහුගේ අත විනිසුරුවරයාගේ මුහුණ ඉදිරිපිට තිබීම හේතුවෙන් ඔහු යවන පන්දු ග්‍රහණය කරගැනීම එහි දී පිතිකරුවන්ට විශාල අභියෝගයක් වන්නට විය. 

ඒ අනුව මාලිංග එම තරගයේ දී හොඳ පන්දු යැවීමක් දියත් කරමින් සිය 12 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී සාර්ථක වන්නේ ලකුණු 57ක් වාර්තා කරගෙන සිටි Darren Lehmann සිය පළමු ජාත්‍යන්තර ගොදුර බවට පත්කර ගනිමිනි. 

තවත් පන්දු තුනකට පසුව ඔහු Adam Gilchristගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වන්නේ ඔහුව ලකුණු ලබා ගැනීමටත් පෙර නැවතත් ක්‍රීඩාගාරය බලා පිටත් කර හරිමිනි. ඒ අනුව එම පන්දුවාරය අවසන් වූයේ මාලිංගගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 12 වැනි පන්දුවාරය කඩුලු 2ක් දවා ගත් නිලකුණු පන්දුවාරයක් ලෙස සටහන් වෙමිනි. 

එම තරගයේ පළමු ඉනිම තුළ දවා ගත් එම කඩුලු ද්විත්වයට අමතරව ඔහු දෙවන ඉනිමේ දී ලකුණු 42කට තවත් කඩුලු 4ක් දවා ගත්තේ Damien Martyn, Lehmann, Shane Warne සහ Michael Kasprowicz ඔහුගේ ගොදුරු බවට පත්කර ගනිමිනි. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එම තරගයේ පළමු ඉනිමට සියලු දෙනා දැවී වාර්තා කර ගත් ලකුණු 207ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පළමු ඉනිම සඳහා වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 97ක් පමණක් වන අතර ඕස්ට්‍රේලියානුවන් දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී වාර්තා කර ගත් ලකුණු 201ත් සමඟ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 312ක අපහසු ඉලක්කයක් හිමි විය. කෙසේ නමුත් එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 162ක් වාර්තා කරගෙන සිටිය දී සියලු දෙනා දැවී යාමත් සමඟ ඔස්ට්‍රේලියාවට එම තරගයෙන් ලකුණු 149ක ජයග්‍රහණයක් අත්විය. 

අනතුරුව පැවති දෙවන තරගයේ දී ඔහු තවත් කඩුලු 4ක් දවා ගනු ලැබූ අතර ඒ අනුව ඔහු සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය තුළ සමස්ත කඩුලු 10ක් දවා ගනිමින්, කඩුලු 12ක් දවා ගත් ශ්‍රී ලංකාවේම උපුල් චන්දනට පමණක් පසුපසින් සිටිමින් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කරන්නට සමත් විය. 

මෙම තරගාවලියේ පළමු තරගයේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ තරගය අවසානයේ ඕස්ට්‍රේලියානු නායක Gilchrist වහාම ශ්‍රී ලංකා ක්‍රීඩාගාරය වෙත පැමිණ තරගයේ භාවිතා වූ කඩුල්ලක් ලබා දී එය මාලිංගට ලබා දෙන ලෙස පැවසීමේ සිදුවීමයි. Gilchristගේ වචනවලට ම අනුව ඔහු එහි දී පවසා ඇත්තේ ‘this is for that boy Malinga’ යනුවෙනි.  

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කර දින 17කට පසුව ජූලි මස 17 වැනි දින තම මංගල එක්දින තරගයට ද ක්‍රීඩා කිරීමට මාලිංග හට අවස්ථාව හිමිවන්නේ ආසියානු ශූරතාවය යටතේ දඹුල්ල ක්‍රීඩාංගණයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව යි. 

එහි දී නියමිත පන්දුවාර 10ම ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රතිවාදී නායක Khurram Khanගේ කඩුල්ල ඔහු ලකුණු 8ක් පමණක් ලබා සිටිය දී දවා ගනිමිනි. ඒ අනුව මාලිංගගේ මංගල එක්දින තරගය අවසන් වන්නේ ඔහු සිය පන්දුවාර 10 තුළ ලකුණු 39ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගනිමිනි. 

ශ්‍රී ලංකාව ගැන උදම් ඇනූ සුදු සුමිතුරා ‘ටෝනි ග්‍රේග්’

එතැන් පටන් ඊළඟ වසර 15ක කාලය ගෙවෙන්නේ මාලිංග ප්‍රතිවාදී පිතිකරුවන් හට දැඩි හිසරදයක් බවට පත්වෙමිනි. ඒ අනුව ඔහු යෝකර් පන්දු යොමුකිරීමට දැක්වූ සුවිශේෂී හැකියාව හේතුවෙන් ඔහුට පසුකාලීනව ‘යෝකර් රජු’ (the Yorker King) යන නාමය ද පටබැඳෙන්නට විය. 

2007 වසරේ ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන විට මාලිංග ශාරීරිකව ද ශක්තිමත් වෙමින් විශාල ලෙස වෙනස්කම්වලට ලක්ව තිබූ අතර තවදුරටත් චම්පක ඔහුව ශක්තිමත් පෞරුෂයක් සහිත ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය කරන්නට ද සමත්ව තිබුණි. 

ඒ අනුව ඔහුගේ කොණ්ඩා විලාසිතාව මෙන්ම භෞතික පෙනුම ද මීට පෙර ක්‍රිකට් පිටියේ කිසිදු ක්‍රීඩකයෙකු තුළ කිසිවෙකු දැක නොතිබීමත් සමඟ එම කාලය තුළ වැඩිම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ ද මාලිංග ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සිටින චණ්ඩියෙකු ලෙස ද සමහරෙකු ඔහුව හඳුන්වන්නට ඉඩ තිබුණි. 

නමුත් වැඩි කාලයක් යන්නට පෙර මාලිංගගේ කොණ්ඩා විලාසිතාව අනුකරණය කරමින් බොරු කොණ්ඩ ද විශාල වශයෙන් නිපදවෙන්නට වූ අතර ඒවා පළඳිමින් දහස් ගණන් ක්‍රීඩාලෝලීන් තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණ කරා ඇදෙන්නට විය. 

කෙසේ නමුත් 2007 ලෝක කුසලාන තරගාවලියට අදාළව මාලිංග පිළිබඳව කතාබහට ලක්වූ එකම කරුණ ඔහුගේ කොණ්ඩා විලාසිතාව පමණක් නොවේ. ඔහු එම තරගාවලිය තුළ දැක්වූ දක්‍ෂතා ද ඔහුගේ කොණ්ඩා විලාසිතාව මෙන් ඔහුටම ආවේණික වන්නට විය. ඒ ක්‍රිකට් ඉතිහාසය තුළ අඛණ්ඩව පන්දු 4ක දී පිට පිට කඩුලු 4ක් දවා ගත් පළමු සහ එකම ක්‍රීඩකයා බවට එහි දී මාලිංග පත්වීමත් සමඟ යි.

ඔහු එම වාර්තාව පිහිටුවා මේ වන විට වසර 13ක කාලයක් ගතවී ඇතත් මාලිංග හැරුණුකොට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු තවමත් එවන් දක්‍ෂතාවක් ක්‍රිකට් පිටිය තුළ දක්වන්නට සමත්ව නොමැත. ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඔහු දැක්වූ එම දක්‍ෂතාවය හරහා ඔහු ශ්‍රී ලංකාව එම තරගයේ ජයග්‍රහණයේ ඉතා ආසන්නයට රැගෙන යන්නට සමත් වුවත් අවසාන මොහොතේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් එහි ජයග්‍රහණය තමන් සතුකර ගන්නට සමත් විය. 

එම ලෝක කුසලාන තරගාවලියේ ම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී මාලිංගගේ ඉහළම දක්‍ෂතාවයන් ප්‍රේක්‍ෂක සැමට දැක බලා ගන්නට අවස්ථාව හිමි විය. 

ඒ අනුව මාලිංග එහි දී යොමු කළ සිය පළමු පන්දුවාර 4 තුළ ලකුණු 5ක් පමණක් ලබා දෙමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමඟ නායක Stephen Flemingගේ වටිනා කඩුල්ල ද දවා ගන්නට සමත් විය. 

තවදුරටත් ඔහු එහි දී ප්‍රබල පිතිකරුවෙකු වූ Ross Taylorට දැඩි පීඩනයක් ද එල්ල කරන්නට සමත් විය. Taylor විසින් එහි දී Malinga හට මුහුණ දුන් ආකාරයෙන් පැහැදිලි වූයේ ඔහු දැඩි බියකින් යුතුව ඔහුගේ පන්දුවලට පහර දෙන බවයි. ඔහුගේ පන්දුවලට ඉදිරි පාදයේ ක්‍රීඩා කරනවා ද, එසේත් නැත්නම් පසුපාදයේ ක්‍රීඩා කරනවා ද යන්න පවා Taylor හට සිතා ගැනීමට අපහසු තත්වයක් එහි දී උදා වී තිබූ බව හොඳින්ම පැහැදිලි වන්නට විය. 

ඒ අනුව ක්‍රීඩාලෝලීන් හට ඔහුගේ දක්‍ෂතාවයන් ඉතා හොඳින් දැකබලා ගැනීමට 2007 ලෝක කුසලාන තරගාවලිය අවස්ථාවක් වූ අතර ඔහු තරගාවලිය පුරාවට දැක්වූ විශිෂ්ට දස්කම් සැලකිල්ලට ගනිමින් ‘Cricinfo’ විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ තරගාවලියේ හොඳම කණ්ඩායමට ද ඔහුව ඇතුළත් කරනු ලැබීය. 

සමස්තයක් ලෙස ගත්කල ඔහුගේ වාර්තාවන් බොහොමයක් බිඳ දැමීමට තියා සම කිරීමට හෝ වෙනත් ක්‍රීඩකයින් සමත්ව නොමැත. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ද ඔහුටම ආවේණික වූත්, සුවිශේෂී වූත් එකකි. ඒ අනුව සෙපරමාදු ලසිත් මාලිංග ස්වර්ණජිත් වැනි පන්දු යවන්නෙකු නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවනු ඇතැයි සිතීම ඉතා අපහසු කටයුත්තකි. 

මාලිංගගේ වසර 15කට අධික ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු යැවූ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ හිමිකර දුන් පන්දුවාර, කඩුලු ත්‍රිත්ව, යෝකර් පන්දු, ‘bouncer’ පන්දු සහ වේගය අඩාල කර යැවූ පන්දු ආදී සෑම එකක ම පාහේ විශාල ගෞරවයක්,  මාලිංගව හඳුනා ගනිමින්, ඔහුගේ අවශ්‍ය හැකියාවන් වැඩිදියුණු කරමින් ඔහුව ලෝකයේ ප්‍රබලම පන්දු යවන්නෙක් බවට පත්කිරීමට ලබා දුන් මිල කළ නොහැකි දායකත්වය වෙනුවෙන් චම්පක රාමනායක හට ද හිමි විය යුතු බව නොඅනුමාන ය.  

විමුක්ති ආදිත්‍ය විසින් projectarticles.com වෙබ් අඩවිය පලකරනු ලැබූ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි. පරිවර්තනය පුලස්ථි එදිරිසිංහ විසිනි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<