ජීවමාන දෙවියා සචින්ට 50යි!

385
​The god of cricket sachin tendulkar

“මම අවුරුදු 25ක අත්දැකීම් තියෙන, වයස අවුරුදු 25ක තරුණයෙක්.”

50 වැනි වියට පා තැබීම මොන විදිහට ද දැනෙන්නේ කියලා Times of India මාධ්‍යවේදියෙක් වෙන Nitin Naik විසින් ඇහුවාම Sachin Tendulkar විසින් තරමක් හාස්‍ය මුසු පෙනුමක් ආරූඪ කර ගනිමින් පිළිතුරු ලබා දෙන්නේ එහෙම.

අද 2023 අප්‍රේල් 24 වැනිදා. හරියටම මීට වසර 50කට ප්‍රථම 1973 අප්‍රේල් 24 වැනිදා ඉන්දියාවේ මුම්බායි හිදී උපත ලබන Sachin Ramesh Tendulkar කියන්නේ අද වෙද්දී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පුරාවෘත්තයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් පුද්ගලයෙක්.

Sachin විසින් අද සිය 50 වැනි උපන්දින සමරනවා. තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අර්ධ ශතක සිය ගණනින් වාර්තා කරලා තියෙන Sachin විසින් සිය ජීවිතයේ තවත් වැදගත් ම අර්ධ ශතකයක් ලබා ගන්න මොහොතේ දී ඉන්දියානු වෙබ් අඩවියක් වන Times of India හී නියෝජිතයෙකු වන Nitin Naik විසින් Sachin හමුවට ගොස් සම්මුඛ සාකච්ඡාවක යෙදෙනවා.

“මේ තමයි මට 50ක් කියලා නොහැඟෙන එකම 50.”

Sachin එහෙම තමයි Naik සමඟ කතාවට මුල පුරන්නේ.

“මම මගේ සමහර ඉනිම් නැවත නරඹනවා. ඇත්තට ම මම ඊයේ රෑත් එකක් බැලුවා. මම 1994 දී නාග්පූර් වල දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් ලකුණු 179ක ඉනිම. මට අවශ්‍ය වුනේ මම ඒ ඉනිමේ දී එල්ල කරපු එක පහරක් බලා ගන්න.

එය Courtney Walshට එරෙහි ව එල්ල කළ පසු පාදයේ පහරක්. පිටියේ පතිත වෙලා පැමිණි පන්දුවට මම Walshගේ හිසට ඉහළින් පහරක් එල්ල කළා. මට ඒ පහර නැවතත් නරඹන්න අවශ්‍ය වුනා.”

Sachin මේ මතකය අවදි කරන මොහොතේ ඔහුගේ ඇස් දීප්තිමත් ව බැබළුණ බව Naik තමන්ගේ ලිපියේ සඳහන් කරනවා.

Sachin ක්‍රීඩාවෙන් සමුඅරන් දැනට වසර 10ක් පමණ වෙනවා. එදා Sachin ක්‍රීඩා කළ ක්‍රිකට් වල සහ අද Sachinගේ පුතා ක්‍රීඩා කරන ක්‍රිකට් අතර පැහැදිලි වෙනසක් පෙනෙන්න තියෙනවා. නමුත් ඒ පිළිබඳ Sachinට තියෙන්නේ බොහෝම නම්‍යශීලී අදහසක්.

“ඒක හරියට මම ජපන් කෑමක් කද්දී Chopsticks පාවිච්චි කරනවා වගේ. නමුත් මම ගෙදර හදන ඉන්දියානු කෑම කද්දී මම මගේ අත පාවිච්චි කරනවා. මම තවත් වෙලාවක හැන්ද සහ ගෑරුප්පුව භාවිතා කරනවා. ඒ වගේ අවස්ථාව අනුව ක්‍රීඩා කළ යුතුයි.”

විස්සයි විස්ස වැනි තරග රටා වලින් සේ ම වෙනස් වී ඇති ක්‍රිකට් නීති වලට පවා හැඩ ගැසී අවස්ථාව අනුව ක්‍රීඩා කිරීම වඩාත් සුදුසු බවයි Sachin විශ්වාස කරන්නේ.

එමෙන් ම තරග රටාවල කාලයට අනුව යම් වෙනස් කම් සිදු විය යුතු බවත් Sachin විශ්වාස කරනවා.

එමෙන් ම කුමන තත්වයට යටතේ වුව ද ක්‍රීඩකයකුට සතු විය යුතු හොඳම ගුණාංගය නිරන්තරයෙන් සිදු කරන පුහුණු වීම් බවත් Sachin විසින් අවධාරණය කරනවා.

Tendulkar තම පුහුණුකරුවන්ව ද වෙහෙසවමින් පුහුණුවීම් වල නිරත වූ බව ප්‍රසිද්ධ කරුණක්. එමෙන්ම පුහුණුවීම් වලින් ම සිය අවධානය යොමු කිරීම, පන්දු යවන්නාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙන්ම පන්දුව හොඳින් දැකීමේ හැකියාව ද තමන් විසින් ම දියුණු කර ගත් බවත් Sachin විසින් Naik සමඟ පවසනවා.

“පන්දු යවන්නා යොමු කරන්නේ මොන විදිහේ පන්දුවක් ද, පන්දුව අල්ලන්නේ මොන විදිහට ද, කියන දේ පවා මට පෙනෙනවා. එය මට අමතර කාලයක් ලබා දෙනවා.”

සමහර විට පන්දු යවන්නා පැයට කිලෝමීටර් 135ක වේගයෙන් එවන පන්දුවට සූදානම් වෙන්න ලැබෙනවාට වඩා කාලයක් පැයට කිලෝමීටර 150ක වේගයෙන් එවන පන්දුව සඳහා සූදානම් වෙන්න ලැබීම ම නිරන්තර පුහුණුවෙත් ළඟා කර ගත හැකි වාසියක් බවයි Sachin කියන්නේ.

එමෙන් ම පුහුණුවීම් වල දී සිය පිත්තේ පන්දුව වදින ශබ්දය පවා තමන් ව උපරිම තෘප්තියකට පත් කිරීමට සමත් බවයි Sachin පවසන්නේ.

ඔහු Naik සමඟ සිය වසර 25කට ආසන්න ක්‍රීඩා ජීවිතය දෙස නැවත හැරී බලනවා.

Sachin විසින් සිය ජාත්‍යන්තර ක්‍රීඩා ජීවිතය ආරම්භ කරන්නේ 1989 වර්ෂයේ දී. එතැන් පටන් ඔහු නොකඩවා ම 2013 වසර තෙක් ඉන්දීය ජාතික කණ්ඩායමේ සාර්ථක ම පිතිකරුවා බවට පත් වීමට සමත් වෙනවා.

මේ අතරිනුත් 2007 සිට 2011 වර්ෂය තෙක් Sachin විසින් ශතක 24ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. නමුත් මෙම කාලය තුල ඔහු විසින් වැළමිටේ ආබාධයකින් පීඩා විඳි බවයි Sachin දැන් හෙළිදරව් කරන්නේ.

“ඒ කාලයේ මම ක්‍රීඩා කරපු විදිහ බැලුවොත් ඔබට පෙනේ වී මම දෙපැත්තෙන් ම ආරක්ෂක ආවරණ පැලඳ හිටි බව. හැම පුහුණු සැසියකට ම පසුව මම වැළමිටේ අයිස් තිව්වා.”

තමන්ට ඇති වුනු ආබාධ නිසා ම පිතිකරණ රටාවේ යම් යම් වෙනස් කම් සිදු කර ගන්න වුන බවත්, සමහර වෙලාවට එය ඔහුගේ ම යහපතට හේතු වුන බවත් Sachin ඒ සමඟම පවසනවා.

Sachin ඉන්දියාවේ දෙවියෙක් බවට පත් වුනේ නිකන් ම ඉඳලා නෙවෙයි. ක්‍රීඩාවෙන් විශ්‍රාම අර ගෙනත් සෑහෙන්න කාලයක් ගෙවුණු තැන දීත් Sachin ඉන්දියාවට දෙවියෙක්, ක්‍රිකට්වලට පුරාවෘත්තක්.

අද Sachinගේ අර්ධ ශතක ගැන මතකය අවධි කරනවා සේ ම මතු අනාගතයේ දවසක Sachinගේ ශතක පිළිබඳව මතකයත් ඔහු සමඟින් ම අවධි කරන්න ලැබෙනවා නම් එය භාග්‍යයක්. ඒ බලාපොරොත්තුව ගැන සැකයක් තිබුනත්, එදාටත් Sachin කියන නම ඉන්දියාවේ දේවත්වයෙන් අදහා වී කියලා නම් සැකයක් නැතුව සඳහන් කරන්න පුළුවන්.

අද Sachin තමන්ගේ අතීතය ගැන වගේ ම තමන්ට ලැබෙන ගෞරවය පිළිබඳවත් උපේක්ෂා සහගත ව බලාගෙන ඉන්නවා. ඒ අතරේ ම ඔහු තමන්ට සවන් දෙන්නන්ට එක ම එක උපදේශයක් ලබා දෙනවා.

“ඔබට නිරන්තරයෙන් ම ජීවිතයේ නවමු දේවල් මුණ ගැසේ වී. නමුත් කිසි දා ඔබේ මූලය කොතැන ද කියලා අමතක කරන්න එපා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<