2015න් පසු ක්‍රිකට් කොයිබටද?

395

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත් වී තිබෙන්නෙ ඉතාමත් ශෝචනීය තත්ත්වයක් බව අප කවුරුත් දන්නා කාරණයක්. මේ වන විට ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ICC ශ්‍රේණිගතකිරීම් හි පිළිවෙළින් 6, 8 හා 7 ස්ථාන ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ඒ බව ඕනවටත් වඩා තහවුරු කරමිනි.

1996 ලෝක කුසලානයත් සමඟින් ක්‍රිකට් කරළියේ නමක් දිනා ගත් රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාව එතැන් පටන් තරග ආකෘති සියල්ලෙහිම දැක්වූ දක්ෂතා දශක දෙකක් පුරාවටම විහිදී ගියේ අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, වාස් වැන්නන් ලබා දුන් මුල් අත්තිවාරමත් සංගක්කාර, මහේල, දිල්ෂාන්, මාලිංග වැන්නන් එක්ව තවත් ඉදිරියට රැගෙන ගිය විශිෂ්ටත්වයත් ප්‍රමුඛ කරගනිමිනි.

කෙසේ නමුත් එලෙස ක්‍රිකට් වංශ කතාවේ පෙරළි රැසක්ම සිදු කළ සහ ස්වර්ණමය ක්‍රිකට් යුගයකට අයිතිවාසිකම් කියූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 ලෝක කුසලානය නිමා වීමත් සමඟිනි.

වසර ගණනක්ම කණ්ඩායමේ බර කරට ගත් දැවැන්තයන් දෙදෙනෙකු වූ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එකවර සමුගැනීමෙන් පසුව ඇති වූ පිරවී නොහැකි හිස්තැන් දෙකත් ඊට එක් හේතුවක් විය. එමෙන්ම තිලකරත්න දිල්ෂාන් ද ඊට පසු වසරේ දී තම ක්‍රීඩා දිවියට තිත තැබීය.

ඉන් පසුව මේ දක්වා නවක ක්‍රීඩකයන් රැසක් අත්හදා බැලූව ද ඒ අතරින් සාර්ථකත්වට පත්වුනේ ඉතාමත් අතළොස්සක් පමණි. මේ හේතුකාරණා සියල්ලම මත 2015 ලෝක කුසලානයෙන් පසු මේ දක්වා කාලසීමාව තුළ දී අමිහිරි පරාජයන් රැසකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය.

එම කාල පරාසය තුළ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 58ක් ක්‍රීඩා කළ අතර ඉන් 21ක් ජයගද්දී, 29ක්ම පරාජය විය. එක්දින ජාත්‍යන්තර තරග 100ක් ක්‍රීඩා කළ අතර ඉන් 33ක් ජයගද්දී, 61ක්ම පරාජය විය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 61ක් ක්‍රීඩා කළ අතර ඉන් 17ක් ජයගද්දී, 42ක්ම පරාජය විය.

එම 2015 ලෝක කුසලානයට පසු කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාව තරග රටා තුන හරහාම නායකයන් 11 දෙනෙකු යටතේ ක්‍රීඩා කිරීම මෙහි වඩාත් ආන්දෝලනයට තුඩුදුන් කාරණය බවට පත්විය.

එහි දී ටෙස්ට් නායකයන් 5 දෙනෙකු (ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්) යටතේත්, එක්දින නායකයන් 8 දෙනෙකු (ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න) යටතේත්, විස්සයි විස්ස නායකයන් 6 දෙනෙකු (ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක) යටතේත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේය.

දිගින් දිගටම කණ්ඩායමට අත් වූ පරාජයන් හේතුවෙන් ඔවුන් සියල්ලන්ටම නායකත්වයේ රැඳී සිටීමට හැකි වූයේ ඉතාමත් කෙටි කාලයකි. කෙසේ වෙතත් 2015න් පසු පත් වූ අනෙක් නායක‍යන්ට වඩා වත්මන් දිමුත් කරුණාරත්න සාපේක්ෂව යම් මට්ටමක හෝ සාධනීය තත්ත්වයක් පෙන්වනු ලැබීය.

එමෙන්ම ප්‍රධාන පුහුණුකරුවන් 4 දෙනෙකු එම කාලය අතරවාරයේ දී පුහුණුකාර ධුරයේ කටයුතු කළේය. 2014 වසරේ අගභාගයේ සිට 2015 සැප්තැම්බර් මස දක්වා මාවන් අතපත්තු, 2016 ජනවාරි මස සිට 2017 ජුනි දක්වා ග්‍රැහැම් ෆෝඩ්, 2017 දෙසැම්බර් සිට 2019 අගෝස්තු දක්වා චන්දික හතුරුසිංහ යන පුහුණුකරුවන් එම ධුරයේ කටයුතු කළ අතර වත්මන් පුහුණුකරු මිකී ආතර් 2019 දෙසැම්බර් මාසයේ දී පත්විය.

2015 ලෝක කුසලානයෙන් පසු මේ දක්වා තේරීම් කමිටු ද 6ක්ම පත්වුණි. 2015 අප්‍රේල් සිට 2016 මාර්තු අතර කාලය දක්වා කපිල විජේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් වූ තේරීම් කමිටුව ඒ අතරින් යම් සාර්ථකත්වයක් පෙන්වීය. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක වැන්නන් පවා මුලින්ම ජාතික කණ්ඩායමට පිවිසියේ එම කාලය අතරවාරයේ දීයි.

ඉන්පසුව පත් වූයේ 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට පමණක් තාවකාලිකව පත් කළ අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුවයි. 2016 මාර්තු සිට අප්‍රේල් දක්වා එක් මසක කාලයක් සඳහා පමණක් එම කමිටුව පත්වුණි.

තවත් විශේෂාංග ලිපි:

අනතුරුව සනත් ජයසූරිය තේරීම් කමිටු ප්‍රධානියා වශයෙන් දෙවන වරටත් පත්වූයේ 2016 අප්‍රේල් සිට 2017 සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහායි. එහෙත් එම කාලපරිච්ඡේදයේ දී ක්‍රීඩකයන් 50කට ආසන්න ගණනක් එම කාලපරිච්ඡේදයෙන් වසරක් තුළ පමණක් අත්හදා බැලීම බොහෝ දෙනාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

ඉන්පසුව 2017 සැප්තැම්බර් සිට 2018 නොවැම්බර් දක්වා කාලය වෙනුවෙන් ග්‍රැහැම් ලැබ්‍රෝයි පත්විය. ලසිත් මාලිංග වැනි එදාමෙදාතුර බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුව එම කාලය පුරාවටම කණ්ඩායමට තෝරා නොගැනීම දැඩි ආන්දෝලනයක් ඇති කළ කාරණයක් බවට එහි දී පත්විය.

ඉන්පසු අසන්ත ද මෙල් හට තේරීම් කමිටුවේ මුල් පුටුව නැවත වරක් භාර වූයේ ඔහුගේ දිවියේ සිව්වැනි වතාවටයි. වඩාත් කතාබහට ලක් වූ තේරීම් රැසක්ම එම කාලය අතරවාරයේ දී සිදු වූ අතර පසුගිය මාසයේ දී ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය.

2015න් පසු පත් වූ තේරීම් කමිටු සියල්ලටම පොදුවේ එල්ල වූ ප්‍රධානතම චෝදනාවක් වූයේ එකදිගටම එකම කණ්ඩායමක් සමඟ යාමට ඔවුන්ට නොහැකි වූ බැවිනි.

කෙසේ නමුත් ක්‍රීඩකයින් ස්ථාවරව දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම, ශාරීරික යෝග්‍යතාවයේ ගැටලු සහ විටින් විට හට ගත් ආබාධ වැනි කරුණු කාරණාත් ඊට විශාල වශයෙන්ම බලපෑවේය.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දේශීය තරග ආකෘතියත් ඊට බලපා ඇති මූලිකතම හේතුවලින් එකකි. පළමු පෙළ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි ගණනක් වීම නිසා එහි පවතින අඩු තරගකාරීත්වයෙන් හොඳම දක්ෂයින් සොයා ගැනීමට අපහසු බව අප කවුරුත් දන්නා කාරණයක්.

එමෙන්ම ශ්‍රී ලංකාවට A කණ්ඩායම සමඟ තරගාවලි ද පසුගිය කාලයේ දී ලැබුණේ ඉතාමත් අල්ප වශයෙනි. එහෙත් උදාහරණයක් ලෙස ඉන්දියාව ගතහොත් ඔවුන් පසුගිය ඕස්ට්‍රේලියානු තරග සංචාරය දෙවන පෙළ කණ්ඩායමක් සමඟ ජය ගැනීමට ප්‍රධානතම හේතුවක් වූයේ ඔවුන්ගේ A කණ්ඩායමට දිගින් දිගටම ලැබුණු තරගාවලි සමඟින් ඔවුන්ගේ නවකයින්ට ලැබුණු අත්දැකීම් ය.

එම වසර 6ක කාලය පුරාවටම පරිණත මුල්පෙළ පිතිකරුවෙකු අප කණ්ඩායමට නොමැති වීමත් තවත් විශාලතම අඩුපාඩුවකි. 2015ට පෙර කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සමුගැනීම නිසා ඉන්පසුව එම වගකීම භාරගැනීමට අවම වශයෙන් එක් මුල්පෙළ පිතිකරුවෙකු හෝ නිර්මාණය නොවී තිබීම පසුගිය වසර කිහිපයේ දී අත් වූ පරාජයන් වලට බලපෑ තවත් හේතුවක් විය.

උදාහරණයක් ලෙස විරාත් කෝලි, කේන් විලියම්සන්, ජෝ රූට්, ස්ටීව් ස්මිත්, බාබර් අසාම් වැන්නන් හට තරගයක් තනිවම වුවද වෙනස් කළ හැකි අතර ඔවුන්ට සිය කණ්ඩායමේම බර තනිවම වුවත් තම කරපිටට ගෙන ක්‍රීඩා කළ හැකි දක්ෂතාවයක් පිහිටා ඇත.

එම නිසා සම්පූර්ණ කණ්ඩායම ම වූවත් ඔවුන් මත යැපිය හැකි මට්ටමට ඔවුන්ගේ දක්ෂතාවයන් ඔපම්ට්ටම් වී ඇත. 2015 වන විටත් ඔවුන් එකදිගට එක් නිශ්චිත පිතිකරණ ස්ථානයක ක්‍රීඩා කරමින් විශ්වාසනීයත්වයක් ගොඩනගා ගැනීමට සමත් වීම අවසන් වසර 6 දී ඔවුන් දැක්වූ දක්ෂතා වලට බලපෑ මූලිකතම අත්වැල බවට පත්විය.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවන් ඉහළ මට්ටමේ විශ්වසනීය මුල්පෙළ පිතිකරුවෙකු 2015වන විට නිර්මාණය නොවී තිබුණි.

පරිපාලනයේ කෙතරම් අඩුපාඩු හෝ දුර්වලතා තිබුනත් අවම වශයෙන් ශ්‍රී ලංකාවටත් එවන් ස්ථාවරත්වයක් ඇති එක් මුල්පෙළ පිතිකරුවෙකු හෝ සිටියා නම් වර්තමානයේ තත්ත්වය මේ ලෙසටම ඛේදජනක තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි.

මීට අමතරව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ ගැටලු ද පසුගිය කාලසමයේ දී විටින් විට පැන නැගුනේ ය.

මෙම හේතුකාරණා සියල්ලම එක හා සමානව බලපෑම නිසා ගෙවී ගිය වසර හයක කාලසීමාවේ දී ශ්‍රී ලංකාවට කණ්ඩායමක් වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම ඉතා අපහසු කරුණක් බවට පත් විය.

ඇතැම් තරග පරාජයට පත්වූවත් තරගයක් ලබා දී පරාජය නොවීම, ඔවුන්ගේ අතිදුර්වල ක්‍රීඩා විලාශය, දිගින් දිගටම එකම වැරදි සිදු කිරීම සහ බොහෝ විට අපරික්ෂාකාරී ලෙස කඩුලු දැවී යාම වැනි කරුණු නිසා වර්තාමනයේ දී ක්‍රීඩකයන් නරඹන්නන්ගේ ද දැඩි විවේචනයන් වලට ලක් වී ඇත.

ඉතිහාසයේ ස්වර්ණමය ක්‍රිකට් යුගයකට හිමිකම් කියූ ක්‍රිකට් රාජ්‍යයක් වශයෙන් අප මේ ඛේදජනක තත්වයෙන් බැහැර වීමට දිගුකාලීන, මධ්‍යකාලීන හා කෙටිකාලීන යන සෑම අයුරකින්ම නිසි ආකාර සැලසුම් හැකි ඉක්මනින් සකස් කොට හැකි ඉක්මනින්ම ගොඩ ආ යුතුමය. නැතහොත් අපට ද සිදුවන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට අත් වූ ඉරණමම පමණි.

මේ ආකාරයෙන් තව තවත් අපේ ක්‍රිකට් ආපස්සටම යාමට නොදීමට වග බලාගැනීම වගකිවයුතු සෑමදෙනාගේම මූලිකතම කාර්‍යභාරයයි. ඒ කරුණු කාරණා ඒ ලෙසින්ම සිදු වී එදා මෙන් යළිත් ක්‍රිකට් වසන්තයක් උදාවේවායි එකසිතින්ම ප්‍රාර්ථනා කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<