සැබෑ සිංහයන් උවමනාකර තිබේ

699

හෙළුවෙන් වනන්නෝ පකට පබුදෝ වෙත්”

මේ සිංහල භාෂාවේ ප්‍රසිද්ධ කියමනකි.

එහි තේරුම නම් “සිංහල භාෂාවෙන් වර්ණනා කරන්නෝ ප්‍රසිද්ධ ප්‍රබුද්ධ පුද්ගලයන් වෙති” යන්නයි..

හෙළුවෙන් වනන්නට නම් වැනීමට පෙර හෙළුව (සිංහල භාෂාව) ගැන දැනගෙන සිටිය යුතුය.. නොදැන වනන්නට ගියහොත් පෙනෙන්නේ වනන්නාගේ හෙලුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද දැන් සිදු වී ඇත්තේ  එයයි.

අපි තමයි ක්‍රිකට් දන්නෙ” කියා සිතාගෙන ඒ දන්නා පරිදි ක්‍රිකට් ගසන්නට ගොස් පෙන්නා ඇති හෙලුවේ තරම තරම ගැන මා මෙහි අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

ඔවුන්ට කාලය දෙන්න. ඔවුන් කාලයත් සමඟ දක්ෂතා අතරට පැමිණ ජයග්‍රහණයේ මාවතට පැමිණේවි”

දැන් වසර තුන හතරක සිටම කණ්ඩායම පරාජයට පත්වන සෑම අවස්ථාවකම අපට ඇසුණේ මෙයයි. ඉතින් අපි ඔවුන්ට කාලය ලබා දුන්නෙමු. අපි ඉවසීමෙන් බලා සිටියෙමු.

නමුත් ඔවුන් කාලයත් සමග දක්ෂතා අතරට පැමිණ ජයග්‍රහණයේ මාවතට පැමිණියේ ?

අප අසා දැක තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි චරිත හා ඔවුන් වටා සැදී තිබුණ ක්‍රිකට් සංස්කෘතිය ඉතා දැවැන්තය. ඒ චරිතාවලිය ඉතා දැවැන්තය. 

ඒ ක්‍රිකට් සංස්කෘතිය තුළ අපට සිටියේ සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්ලාගේ පටන් අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, අර්ජුන රණතුංගලා වෙත පැමිණ ඉන්පසු සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්ගේ පටන් තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රංගන හේරත් දක්වා දිවෙන “Larger than Life” ගණයේ ලා සැලකිය හැකි චරිතය‍න්ය.

ඉහත නම් සඳහන් කළ ක්‍රීඩකයන් අපට ඉතිරි කර ගිය උරුමය, ඒ අභිමානය අපට අහිමි කිරීමේ වගකීමෙන් මිදීමට වර්තමාන ක්‍රිකට් කණ්ඩායමට නොහැක. ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ අභිමානවත් සන්නාමයක් වී තිබූ Sri Lanka Cricket යන්න මේ තරම් හෑල්ලුවට ලක් කිරීමේ පාපයෙන් ඔවුන් කෙසේ නම් මිදෙන්න ද?

මං ගහන්නෙ මගේ strength එකට”

මේ ක්‍රිකට් කණ්ඩායම පැත්තෙන් ඇසුණ තවත් ප්‍රසිද්ධ වචන පේළියකි.

Strength එකට ක්‍රිකට් ගසන්නට මෙය ගමේ වෙල් යාය නොවේ. ගමේ චමින්දලා ඉබාගාතේ යවන පන්දුවලට තමන්ගේ strength එකෙන් හොඳ හැටි බැට දෙන්නට හැකි නමුත්, පිතිකරුවාගේ ශක්තීන් හා දුර්වලතා හොඳින් අධ්‍යයනය කර තරගයට පැමිණෙන ජාත්‍යන්තර පන්දු යවන්නන් ඉදිරියේ එසේ strength එකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

අප දන්නා අප අසා දැක ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ, විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවාට ඇති අභියෝගය නම් තමාගේ ක්‍රීඩා රටාවේ ඇති දුර්වල ස්ථාන සඟවා ගෙන ක්‍රීඩා කිරීමයි.

ලොව පහල වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිමේ දැවී ගිය ආකාරය ඔබට මතක ඇතැයි මම සිතමි. ඒ රවිචන්ද්‍රන් අශ්වින් යැවූ පන්දුවකට ස්ලිප් ක්‍රීඩකයා අතට උඩපන්දුවක් ලබා දීමෙනි. 

ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාවටම පිට දඟපන්දු යවන්නකු විසින් පිට ඉන්න කෙළින් ගුඩ් ලෙන්ත් හි පතිත කරවා කඩුල්ලෙන් පිටතට දඟකවන පන්දුවලට මුහුණ දීමේ දී සංගක්කාර තරමක දුර්වලතාවයක් පෙන්වූ බව ලොවම දැන සිටි ප්‍රසිද්ධ රහසකි. නමුත් ඒ දුර්වලතාවය සඟවා ගැනීමට ඔහු ස්වීප් පහර එල්ල කිරීම, සීමා ඉරෙන් අඩියක් දෙකක් ඉදිරියට පැමිණ පන්දුව දඟ කැවීමට පෙර ක්‍රීඩා කිරීම, පසුපස පාදයේ ක්‍රීඩා කිරීම වැනි උපක්‍රම තමාගේ ක්‍රීඩා රටාවට එක් කරගත්තේ සෑම විටකම පන්දු යවන්නාට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටිමිනි.

තිලකරත්න ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කිරීමට පැමිණි මුල් අවධියේ දී ඔහුගේ ක්‍රීඩා රටාවේ ශක්තිමත්ම අංගයන්, එනම් strength එක වූයේ කට් පහර හා කවර් ඩ්‍රයිව් පහරයි. එසේම ඒ වකවානුවේ දී කඩුල්ල තුළට දෝලනය වන පන්දුවලට මුහුණ දීමේ දී ඔහු යම් දුර්වලතාවයක් පෙන්වූ බව ඔබට මතක ඇතැයි මම සිතමි.

ඔහුගේ මේ strength එක පිළිබඳව වටහා ගත් ජාත්‍යන්තර පන්දු යවන්නන් ඩිල්ෂාන්ට පිට ඉන්නට පිටතින් පන්දු යැවීමෙන් වැළකී පන්දුව ඔහුගේ කඩුල්ල තුළට දෝලනය කිරීමට පටන් ගත් අතර තරග දෙක තුනක දී ම එම පන්දුවෙන් ඔහුට දැවී යන්නට සිදු විය.

එවිට ඩිල්ෂාන් ඔහුගේ strength එකට ක්‍රීඩා කරමින් දිගින් දිගටම අසාර්ථක වූයේ නැත. ඔහු කළේ පුහුණු දැල් තුළට ගොස් කඩුල්ල තුලට දෝලනය වන පන්දුවලට මුහුණ දීමේ දී පැවති දුර්වලතාවය මගහරවා ගැනීමට උපක්‍රමයන් දියුණු කර ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස පුල් පහර හා ෆ්ලික් පහර ඔහුගේ පිටිහරඹයේ ශක්තීන් අතරට එකතු වූ අතර ඩිල්ෂාන්ගේ ලකුණු යන්ත්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක විය. 

නමුත් ක්‍රිකට් ගැන “ගොඩක් දන්නා” මහත්වරු දැන් ක්‍රිකට් ගසන්නේ ඔවුන්ගේ strength එකට පමණි. ඔවුන්ට ප්‍රතිවාදී කණ්ඩායමේ ශක්තීන් හා දුර්වලතා, ක්‍රීඩා කරන තණතීරුවේ ස්වභාවය, තරගයේ ස්වභාවය, තරගය තුළ ඒ ඒ අවස්ථාවේ කණ්ඩායම තමාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද වැනි දේවල් අදාලම නැත. අනෙක් අන්තයෙන් කඩුලු දෙක තුනක් පිට පිටම දැවී ගොස් ඇති මොහොතක කණ්ඩායමට අවශ්‍ය වන්නේ කඩුල්ල ආරක්ෂා කරගෙන ක්‍රීඩා කිරීම වුවත් මේ මහත්වරු ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ strength එකටය.

ක්‍රීඩකයා දක්ෂයෙක් විය හැක. ඔහු කෙතරම් දක්ෂයෙක් වුවද ඔහුගෙන් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලැබෙන්නේ නැති නම්, ඔහුට කණ්ඩායමේ  රටාවට අනුගත වීමට නොහැකි නම් ඔහුව කණ්ඩායමෙන් නෙරපා හැරීමට දෙවරක් සිතිය යුතු නොවේ. ඊට හොඳම උදාහරණය එංගලන්තයේ කෙවින් පීටර්සන්ගෙන් ලබා ගත හැක.

එසේම ක්‍රීඩකයෙකුට තමා පිළිබඳව ආත්ම අභිමානයක් තිබිය යුතුය.

කුමාර් සංගක්කාර ඉනිම් දෙක තුනක් අසාර්ථක වූ විට ද්විත්ව ශතකයක් ළඟ ළඟම එන්නේ යැයි අපි දැන සිටියෙමු. ස්ටීව් ස්මිත් ඉනිම් දෙක තුනක් අසාර්ථක වූ විට මනරම් පහරවල් වලින් වර්ණවත් වූ ශතකයක් ළඟ ළඟම එන බව අප පමණක් නොව ප්‍රතිවාදී කණ්ඩායම පවා දනී. ඒ ඔවුන් ක්‍රිකට් පිටිය තුළ රඳවා ගෙන ඇති අභිමානය හා විශිෂ්ටත්වයයි.

මේ විශිෂ්ටත්වය වචනවලින් ලබා ගත් එකක් නොවේ. එක් රාත්‍රියක් එළිවන විට ලබා ගත් එකක් ද නොවේ. එය පුහුණු දැල් තුළ වරු ගණන් දින ගණන් ගතකරමින් පන්දු සිය දහස් ගණනකට මුහුණ දී, අපමණ වෙහෙසක් දරා ලබා ගත් විශිෂ්ටත්වයකි. 

එවැනි විශිෂ්ටත්වයකට පත්වීමට ක්‍රීඩකයන්ට අරමුණක් තිබිය යුතු සේම පුහුණුකරුවන්ගේ කාර්යය විය යුත්තේ ක්‍රීඩකයන්ව ඒ විශිෂ්ටත්වය දෙසට යොමු කරවීමයි.

ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කායික හා මානසික පුහුණුව ලබා දීම පුහුණුකරුවන්ගේ වගකීමයි. වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව මානසික සටනක් බවට පත්වී ඇති නිසා මනසින් ශක්තිමත් ක්‍රීඩකයෙක් බිහිකිරීමේ වගකීම පැවරෙන්නේ කණ්ඩායමේ පුහුණුකාරීත්වයටයි. ලක්ෂ ගණනින් වැටුප් ගෙවා පුහුණුකරුවන් නඩත්තු කරන්නේ මේ වගකීම නිසි ලෙස ඉටු කරවා ගැනීමටයි. 

ඉතින් ක්‍රීඩකයන් කැපවීමෙන් පුහුණුවීම්වල හා ක්‍රීඩාවේ නිරත වන, තමාට රිසි පරිදි නොව කණ්ඩායමේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම මේ පුහුණුකරුවන්ගේ වගකීමයි. ඒ සඳහා අවශ්‍ය වන කායික හා මානසික මාර්ගෝපදේශයන් සැකසීම ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි.

බල්ලාගේ වැඩේ බූරුවාට කළ නොහැක” යනුවෙන් පැරණි කියමනක් තිබේ. මෙය ක්‍රිකට්වලට ද අදාලය.

ක්‍රිකට් කණ්ඩායමක නොම්බර 01 ස්ථානයේ සිට නොම්බර 11 ස්ථානය දක්වා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට පැවරෙන්නේ එකිනෙකාට වෙනස් වූ, ඒ ස්ථානයටම ආවේණික කාර්යයන්‍ ය. එසේම ටෙස්ට් කණ්ඩායමක අංක 01 ස්ථානයේ ක්‍රීඩකයාට පැවරෙන රාජකාරිය එක්දින කණ්ඩායමක අංක 01 ස්ථානයේ ක්‍රීඩකයාට පැවරෙන රාජකාරියට වඩා වෙනස්‍ ය.

කණ්ඩායම තෝරා ගැනීමේ දී ඒ ඒ ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවශ්‍ය කෙරෙන හැකියාවන් මොනවා ද යන්න හා ඒ ස්ථාන සඳහා ආදේශ කළ හැකි ක්‍රීඩකයන් කවුරුන්ද යන්න වටහා ගෙන තෝරාගැනීම් කළ යුතුය. එසේ අවශ්‍ය කෙරෙන හැකියාවලින් යුත් ක්‍රීඩකයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ව නිසි පරිදි යෙදවීමෙන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගත හැක.

උදාහරණයක් ලෙස ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවා ලෙසින් තෝරාගන්නේ පන්දුවට තදින් පහර එල්ල කළ හැකි ක්‍රීඩකයෙකි. එහි දී MS දෝනිගෙන් හිස් වූ ස්ථානයට දිනේෂ් කාර්තික්, විදිමන් සහා වැනි ක්‍රීඩකයන් සිටින විට ඔවුන් ආදේශ කළේ යොවුන් ක්‍රීඩක රිෂාබ් පාන්ට් ය. පාන්ට්ගේ ආදේශනය කෙතරම් සාර්ථක ද යන්න පසුගිය දා නිමා වූ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලිය දෙස බැලීමේ දී පෙනී යයි.

පුහුණුකාරීත්වයේ හා කළමණාකාරීත්වයේ වගකීම් ඒ පරිද්දෙන් වන විට ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් ඉටු විය යුතු වගකීම් ඊට හාත්පසින්ම වෙනස්ය.

ඕනෑම ක්‍රීඩාවක දී ජාත්‍යන්තර මට්ටමේ දී සිදු වන්නේ ක්‍රීඩකයන්ගේ කායික හැකියාවට වඩා මානසික හැකියාව උරගා බැලීමයි. එනම් ජාත්‍යන්තර වේදිකාවක් මත තමාට එල්ල වන පීඩනය කළමනාකරණය කරගෙන දක්ෂතා අතරට පැමිණීමයි.

2007 රග්බි ලෝක කුසලානයේ ශක්තිමත්ම කණ්ඩායම ලෙසින් හැඳින්වූ නමුත් අර්ධ අවසන් පූර්ව තරගය තුළ තමාට එල්ල වූ පීඩනය පාලනය කරගත නොහැකිව එම තරගය පරාජය වී ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී ගිය මොහොතේ තමා මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක Richie McCaw විස්තර කරයි. එහි දි ඔහු පවසන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩා හැකියාවේ දුර්වලතාවයක් නිසා නොව මානසික ශක්තියේ පැවති දුර්වලතාවයක් නිසා තමාට පරාජයට පත් වන්නට සිදු වූ බවයි.

Chasing Great නම් වාර්තා වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩකයෙකුට එල්ල වන පීඩනය හා එය කළමනාකරණය කරගත යුතු ආකාරය ඔහු එහි දී අපූරුවට විස්තර කරයි. 2007 ලෝක කුසලානයෙන් ඉවතට විසිවී යන්නට සිදුවුවද McCaw ක්‍රීඩාවෙන් සමුගත්තේ 2011 හා 2015 යන ලෝක කුසලාන ද්විත්වයම ජයග්‍රහණය කරමිනි.

ක්‍රිකට් දන්නා මහත්වරුනි..

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දුවට පහර එල්ල කිරීමට ඔබට ඇති දක්ෂතාවයත් හැකියාවත් ගැන අපට සැකයක් නැත. ඔබ ඔතැන සිටින්නේ අපට වඩා දක්ෂතාවයක් හා හැකියාවක් ඔබ සතුව ඇති නිසාය. ඒ නිසා ඒ ගැන ඔබ අපට කියා දිය යුතු නැත. 

නමුත් ඔබගේ මානසික ශක්තිය ගැන අපට ගැටලුවක් ඇත. පීඩනය කළමනාකරණය කරගැනීමට ඔබට ඇති හැකියාව ගැන ද අපට ඇත්තේ දෙගිඩියාවකි. ප්‍රේක්ෂකයන් දෙසට ඇඟිලි දිගු කිරීමට පෙර ඔබ කළ යුත්තේ ඔබේ අඩුපාඩු සකසා ගෙන ක්‍රීඩාවේ නිරත වීමයි. 

සනත් ජයසූරිය අසාර්ථක වූ අවස්ථාවල එකල පුවත්පත් ඔහුව ඉතා දැඩි ලෙස විවේචනය කරද්දී ඔහු ඊට කටින් පිළිතුරු දෙන්නට ගියේ නැත. ඒ වෙනුවට ඔහු කළේ එසේ විවේචන එල්ල වී දින කිහිපයක් ඇතුළත මන කළඹන ශතකයක් වාර්තා කරමින් ඒ සියලු විවේචන නිහඬ කිරීමයි.

එසේම සංගක්කාර ජාතික කණ්ඩායමට එක් වූ මුල් අවධියේ බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් ඔහුට ලැබුණේ යහපත් ප්‍රතිචාර නොවේ. නමුත් ඔහු පිටියේ කෙළවරක කැමරාවක් සහ මයික්‍රෆෝනයක් ඉදිරියේ ප්‍රේක්ෂකයන්ට වචනයෙන් උත්තර දෙන්නට ගියේ නැත. වචන වෙනුවට පිත්තට ක්‍රියාත්මක වන්නට ඉඩහැරි ඔහු අවසානයේ වචනයෙන් උත්තර දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර තුළටම ගොස් MCC Spirit of Cricket Cowdrey දේශනය ඉදිරිපත් කරමිනි. අද සංගක්කාර යනු කවුරුන් දැයි ලොවම හොඳින් හඳුනයි. 

ඉතින් මහත්වරුනි,

ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ නම් ඔබට ඒ පිළිබඳව වගකීමක් තිබිය යුතුය. ඔබගේ වගකීම් විරහිතභාවය නිසා හෑල්ලු වන්නේ ඔබගේ අභිමානය පමණක් නොවේ. 

ජාතික කොඩියේ පාළු මකන්නට සිටිනා සිංහයකුගෙන් ඵලක් නොවන්නා සේම කණ්ඩායම් නාම ලේඛනයේ අඩුව පිරවීමට සිටිනා ක්‍රිඩකයන්ගෙන් ද අපට ඵලක් නැත. ඒ නිසා තමාගේ පුද්ගලික න්‍යායපත්‍ර උදෙසා ක්‍රීඩාවේ යෙදෙන්නන් පසෙකින් තබා රට පෙරට තබා ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් කණ්ඩායමට ආදේශ කළ යුතුය. එවැනි ක්‍රීඩකයන් නොමැති නම් පුවත්පත් දැන්වීමක් පළකර හෝ සුදුස්සන් සොයාගත යුතුය.

ඒ සඳහා උදෘතය ලෙසින් පළකළ හැකි වැකියක් අවසානයේ මෙසේ ලියා තබමි.

රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සැබෑ සිංහයන් උවමනාකර තිබේ”

Image Credits: Islandcricket.lk, Boston.com

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<