ජපන් ප්‍රහාරය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2018

297
ASIAN 7s 2018 Day 1

හොංකොං හී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (14) ජපානය සමඟින් පැවති අතර එහි දී ලකුණු 21-00ක දරුණු පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

අද උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම චීනය සමඟින් තරග වැදුණු අතර එහි දී ඔවුන් ලකුණු 31-00ක් ලෙස දැවැන්ත ජයක් හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල වූ ජපන් ක්‍රීඩකයෝ ඉතා සංවිධානාත්මක ප්‍රබල ආරක්ෂක ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ උත්සාහක දිනුම් රේඛාව ආසන්නයට යාමට වත් ජපන් ක්‍රීඩකයෝ ඉඩ ඉතුරු කළේ නැත.

ආසියාව දිනන්නට සැරසෙන රග්බි ඇතුන් අද තරග බිමට

2018 ආසියානු සත් සාමාජික රග්බි ශුරතාවලියේ පළමු අදියර අද (14) දින හොං කොං හීදී…

තරගය ආරම්භයෙන් මිනිත්තු දෙකකට පසු ලැබුණු දඬුවම් පහරක් ක්ෂණිකව ලබා ගනිමින් ජපන් ක්‍රීඩකයින් සිය පළමු උත්සාහක දිනුම රැස් කළ අතර SAKAI එම උත්සාහක දිනුමට හිමිකම් කීවේය. එහි ප්‍රවර්තනය ද ඔහුම සාර්ථක කර ගැනීමට සමත් විය. (ජපානය 07-00 ශ්‍රී ලංකාව)

ඉන් මිනිත්තුවකට පසු ජපන් ක්‍රීඩකයින්ට මගහැරී බිම පතිත වූ පන්දුවක් රැකගෙන සුදම් සූරියආරච්චි ඉදිරියට යාමට උත්සහ කළත්, අවාසනාවන්ත ලෙස ඔහුට හරි හැටි පන්දුව ග්‍රහණය කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැත.

අනතුරුව පස්වැනි මිනිත්තුවේ දී කවිඳු පෙරේරා හට අවාසනාවන්ත ලෙස ජපන් ක්‍රීඩකයෙකු නැවැත්වීමට නොහැකි වූ අතර කවිඳු හා නවීන් අතරින් රිංගා ගිය MOTAMORA දෙවන ජපන් උත්සාහක දිනුම වාර්තා කළේ ශ්‍රී ලංකාව දෙසට දැවැන්ත පීඩනයක් එල්ල කරමින්. SAKAI එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ජපානය 14-00 ශ්‍රී ලංකාව)

පළමු අර්ධය: ජපානය 14 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කෙතරම් උත්සහ කළත් ජපන් ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ඔවුන්ට හැකි වූයේ නැත.

8 වන මිනිත්තුවේ දී ජපන් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැඩලමින් පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රබල සටනක් දුන්නත් SAKAI දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කරමිනි. ඔහු විසින්ම අමතර ලකුණු එක් කරන ලදි. (ජපානය 21-00 ශ්‍රී ලංකාව)

ජපන් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සතුව තිබුණු පන්දුව ඉතා පහසුවෙන් දිනා ගැනීම විශේෂත්වයක් විය. සිය ගෞරවය සඳහා සටන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර අවසන් මොහොතේ දී පන්දුවට පා පහරක් දෙමින් පන්දුව හඹා ගොස් පන්දුව රැකගෙන උත්සාහක දිනුමක් කරා යෑමට උත්සහ කළත් එම උත්සාහය ද සාර්ථක වූයේ නැත.

ශ්‍රී ලංකාව හෙට (15) සිය තෙවැනි තරගය සඳහා චීන තායිපේ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: ජපානය 21 (3T, 3C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ජපානය – SAKAI (2T, 3 C), MOTOMORA (1T)        

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් චීනය අන්ත අසරණ කරයි

හොංකොං හී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියර අද (14) ආරම්භ වූ අතර එහි පිරිමි කාණ්ඩයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම චීනය හමුවේ ලකුණු 31-00ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය.

චීන කණ්ඩායමේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවත් සමඟ ඉදිරියට යාමට උත්සහ කළත් ආරක්ෂක ක්‍රීඩා විලාසයක් දියත් කළ චීනය දෙවරක්ම ශ්‍රී ලංකා උත්සාහයන් සීමාවෙන් ඉවතට ඇද දැමීමට සමත් විය.

නවීන් හේනකන්කානම්ගේ හා ජාතික කණ්ඩායමේ සිය මංගල තරගය ක්‍රීඩා කළ දිනුක් අමරසිංහගේ උත්සාහයන් එසේ ව්‍යර්ථ වී ගියේය.

කෙසේ වුවත් සිව්වැනි මිනිත්තුවේ දී නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ සුපිරි පන්දු යොමු කිරීමක් සමඟින් දිනුක් අමරසිංහ තරගයේ පළමු වරට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. ශ්‍රීනාත් සූරියබණ්ඩාර එහි ප්‍රවර්තනය අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 07-00 චීනය)

අනතුරුව සුපුරුදු රිද්මයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසානයට මොහොතක් තිබිය දී සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ චීන ආරක්ෂක වළලු බිඳ දමමිනි. ’Scurm’ අවස්ථාවකින් ලැබුණු පන්දුව සුදම් සූරියආරච්චි වෙත භාර කරනු ලදුව සුදම් විශිෂ්ට පාද චලනයක් යොදා ගනිමින් චීන ක්‍රීඩකයා නොමග යැවුවේ පහසුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කරන ලදි. (ශ්‍රී ලංකාව 14-00 චීනය)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 14 – 00 චීනය

දෙවන අර්ධය ආරම්භයේ දී ම 9 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට නායක සූරියබණ්ඩාර සමත් විය. ’Lineout’ අවස්ථාවකින් ලැබුණු පන්දුවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියේ කොනට එවූ අතර කවිඳු පෙරේරාගේ විශිෂ්ට පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගත් ‘සූරි’ පවනට බඳු වේගයෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ චීන ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. අමතර ලකුණු එකතු කිරීමට ඔහු සමත් වූයේ නැත. (ශ්‍රී ලංකාව 19-00 චීනය)

අනතුරුව 11 වන මිනිත්තුවේ දී බුද්ධිම පියරත්න ඉතා දක්ෂ ධාවනයක යෙදෙමින් ඉදිරියට ගමන් කළත් ධවල රේඛාව ආසන්නයේ දී ඔහුගේ සහයට සිටි ක්‍රීඩකයා ඔහු යොමු කළ පන්දුව නිසි ලෙස ග්‍රහණය කර ගැනීමට සමත් වූයේ නැත.

සත් සාමාජික රග්බි කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි සංචිතයේ නව නායකයා ලෙස ශ්‍රීනාත් සූරියබණ්ඩාර පත්කර ..

කෙසේ වෙතත් 12 වන මිනිත්තුවේ දී චීන ක්‍රීඩකයෙකුට අතහැරුණු පන්දුවට සිය පාදයෙන් පහරක් එල්ල කළ බුද්ධිම පන්දුව හඹා ගොස් පන්දුව රැකගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි අමතර ලකුණු එක් කිරීමට කෙවින් ඩික්සන් සමත් විය. (ශ්‍රී ලංකාව 26-00 චීනය)

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ අවසන් ඇණය ද ගසමින් කෙවින් ජෝසප් අවසන් මිනිත්තුවේ දී නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවුනත් ආරම්භක තරගයේ දී දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරගාවලිය ආරම්භ කරමින් කාන්තා අංශයේ පළමු තරගයට ශ්‍රී ලංකාව හා කසකස්තානය තරග වැදුණු අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කසකස්තානය හමුවේ පරාජය වූයේ ලකුණු 36-00ක් ලෙසයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 31 (5T, 3C) – 00 චීනය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව: ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T,1C), සුදම් සූරියආරච්චි (1T,1C), දිනුක් අමරසිංහ (1T), බුද්ධිම පියරත්න (1T), කෙවින් ඩික්සන් (1T,C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<