ඉන්දියාවට පරද්දන එංගලන්ත සැලැස්ම Root හෙළිකරයි

236

එළඹෙන එංගලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලිය එංගලන්ත නායක Joe Rootට ඉතා වැදගත් තරගාවලියක් වෙනවා. ඒ ඔහු එංගලන්තය වෙනුවෙන් සිය 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්නට සූදානමින් සිටීම නිසයි. ඉන්දු- එංගලන්ත ටෙස්ට් තරගාවලිය එළඹෙන සිකුරාදා චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාවට මුහුණ දීමට එංගලන්තයේ සූදානම පිළබඳව Root අදහස් දක්වා තිබුණා. The Hindu වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ඉන්දියානු තණතිලිවල පන්දුවට පහර දීමට නම් ඉවසීම තිබිය යුතු බවයි. එසේම එංගලන්ත පිතිකරුවන් දිගු කාලයක් කඩුල්ලේ රැඳී සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

තවත් ක්‍රිකට් පුවත්:

“ඔබ සූදානම් වෙන්න ඕනේ දිගු කාලයක් පිතිකරණයේ නිරත වෙන්න. විශේෂයෙන්ම පළමු ඉනිමේ හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ. අපි උත්සහ කරන්නේ ඒක කරන්නයි. පුළුවන් තරම් කාලයක් තරගයේ ඉඳලා ඉන්දියාව වගේ හොඳ කණ්ඩායමක් එක්ක ටෙස්ට් තරගය අවසාන මොහොත දක්වාම ඇදගෙන යන්න අපිට හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

Root තවදුරටත් පවසා සිටියේ ඉන්දියාවේ පිතිකරණයේ නිරත වෙද්දී පිතිකරුවන් ආරක්ෂිතව ක්‍රීඩා කිරීම ගැන අවධානය යොමු කළ යුතු බවයි.

“ඔබට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම එංගලන්ත පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට තමා ගොඩක් මුහුණ දෙන්නේ. නමුත් මෙහෙදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ පන්දුව දඟ කැවිලා පිත්ත මඟහැර යයි කියලා. සමහර අවස්ථාවල දී ඔබට වරදින්න පුළුවන්, නමුත් ඔබ බොහොම ඉවසීමෙන් තෝරාගන්න ඕනේ කොහෙන්ද ඔබ ලකුණු ලබා ගන්නේ කියන එක. මම හිතන්නේ වැදගත්ම දෙය තමා පන්දුව අවහිර කිරීම (defense) ගැන විශ්වාසය තබන එක.”

පසුගිය සඳුදා එංගලන්ත හා ඉන්දියානු පිතිකරුවන් හට ඔවුන්ගේ දින හයක නිරෝධායන කාලයේ තුන්වැනි COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබී තිබුණා. ඒ අනුව ඔවුන්ට පුහුණුසැසි පැවැත්වීම සඳහා අවස්ථාව පවතිනවා.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ද අද (2) චෙන්නායි හිදී ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කරනවා. ඔවුන් අද සවස පහට ඔවුන්ගේ පළමු පුහුණු සැසියට සහභාගී වීමට නියමිත බවත්, හෙට ඔවුන් දැල් තුළ පුහුණුවීම් ආරම්භ කරන බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<