දුනිත් වෙල්ලාලගේ ගැන Brathwaiteගෙන් අනාවැකියක්

10681

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සිය නාමය කැපී පෙනෙන නාමයක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සමත් වුනා.

පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරගයේ දී ඔහු වාර්තා කළ ශතකය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යය ද සිය අවධානය යොමු කර තිබූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිදු කරන The Digital Daily නම් වැඩසටහනේ 14 වැනි වීඩියෝව ද වෙන් වී තිබුණේ ශ්‍රී ලංකා නායකයා වෙනුවෙන්.

2016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දිනා දීමට අවසන් තරගයේ දී වැඩිම කාර්‍යභාරයක් ඉටු කරමින් පිට පිට හයේ පහර 4ක් වාර්තා කළ Carlos Brathwaite මෙම විශේෂ වීඩියෝව සඳහා එක්ව සිටියා.

එහි දී Carlos Brathwaite පවසා සිටියේ දුනිත් වෙල්ලාලගේ යනු අනාගතයේ දී බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයෙකු බවයි.

මම දැක්කා දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ඉතාමත් හොඳ තරගයක් තිබුණා. පන්දු යැවීමෙන් වගේම පිතිකරණයේ දීත් කණ්ඩායම් දෙකම හොඳ තරගයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නෙක් වෙනුවට දඟපන්දු යවන්නෙක් එක්කරලා තිබුණා. දකුණු අප්‍රිකාවට දඟපන්දුවේ දෝලනය හඳුනා ගන්න බැරි වුනා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ඉදිරියෙන් හිටියා”, Carlos Brathwaite පවසා සිටියා.

ඉන් අනතුරුව වැඩසටහනේ නිවේදිකාව වූ Alex Jordan දිනයේ දක්ෂතම ක්‍රීඩකයා හෙවත් Performance of the Day ලෙස තෝරාගන්නේ කුමන ක්‍රීඩකයා දැයි Brathwaiteගෙන් විමසා සිටියා.

මම හිතන්නේ ඒක පහසු තේරීමක්. දුනිත් වෙල්ලාලගේ. මේ නම ඉදිරියේ දී අවුරුදු ගාණක් යනතුරු අපිට අහන්න ලැබේවි. ඒ ශතකය ඉතාමත් විශිෂ්ට එකක්. අපි හැමවෙලේම දකිනවා ක්‍රීඩකයන් ශතක වාර්තා කරනවා. අපි හැමවෙලේම ඒ ගැන කතා කරනවා. ඒත් දුනිත්ගේ ඉනිම විශේෂ එකක්. ඔහු නායකයා විදිහට නායකත්වයේ වගකීම අරන් ක්‍රීඩා කළා. කණ්ඩායම අසීරු අවස්ථාවක ඉද්දී ඔහු නායකයා විදිහට තරගය වෙනස් කරන්න සමත් වුනා. දුනිත් වෙල්ලාලගේ! ඒ නම හොඳින් අහගන්න. ඒ නම මතක තියාගන්න!”

>> The Digital Daily: Episode 14 (icc-cricket.com) වැඩසටහන <<

දකුණු අප්‍රිකාව සමඟින් පසුගිය 30 වැනිදා පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 25ක් තුළ දැවී ගියා. ඉන් අනතුරුව නායක දුනිත් වෙල්ලාල ශතකයක් වාර්තා කළ අතර රනුද සෝමරත්නගේ අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 232ක් බවට පත්ව තිබුණා.

දුනිත් වෙල්ලාලගේ වාර්තා කළ ලකුණු 113 සඳහා ඔහු පන්දු 130ක් වැය කර තිබූ අතර එයට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

ලකුණු 233ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 167කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. ට්‍රෙවීන් මැතිව්, ශෙවෝන් ඩැනියෙල් සහ රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් වාර්තා කළ අතර දුනිත් වෙල්ලාලගේ සහ වනුජ සහන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන පිළිබඳව ද Brathwaite සිය අදහස් දක්වා සිටියා.

ඔවුන්ගේ පොතේ එක පැල්ලමයි තිබුණේ. ඒ අර්ධ අවසන් පූර්ව තරගය පරාජය වීම. ඔවුන්ට අවසන් අවස්ථාවේ දී ජයග්‍රහණය ලබා ගන්න බැරි වුනා. ඔවුන් දැන් ඒ ගැන අමතක කරලා කණ්ඩායම ගැන විශ්වාස කරලා ඉස්සරහට යන්න ඕනේ. වෘත්තීමය සහ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම්වලට එද්දී ඔවුන් ඔවුන්ගේ අඩුපාඩු හදාගනීවි. ඔවුන්ගේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ දී දස්කම් දක්වන්න සමත් වුනා. කනිෂ්ඨ කණ්ඩායම විදිහට මේ ක්‍රීඩකයන් ඉදිරියට යන්න ඕනේ”, Carlos Brathwaite පවසා සිටියා.

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද දුනිත් වෙල්ලාලගේ. ඔහු තරගාවලියේ තරග 5ක දී කඩුලු 17ක් ලබාගෙන ඇත්තේ 9.35ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. තරගාවලිය තුළ ඔහු දෙවතාවක් කඩුලු 5 බැගින් වාර්තා කර තිබීම ද විශේෂත්වයක්.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ඔහු පස්වැනි ස්ථානයේ රැඳී සිටින අතර තරග 5ක දී ලකුණු 224ක් ඔහු සිය ලකුණු මල්ලට එක් කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පස්වැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය අද පස්වරුවේ Antigua හි Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<