හිටපු ප්‍රබලයෙකුගෙන් ඉන්දු – එංගලන්ත තරගාවලියට අනාවැකියක්

364

එළඹෙන සිකුරාදා (05) ආරම්භ වීමට නියමිතව ඇති තරග 4කින් සමන්විත ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට එංගලන්තයට ඉඩක් නොමැති යැයි හිටපු ඉන්දීය ආරම්භ පිතිකරු Gautam Gambhir ප්‍රකාශ කරන ලදි.

Star Sports හී ‘Game Plan’ නම් වැඩසටහනකට එක් වෙමින් හිටපු ඉන්දීය පිතිකරුවා මෙම අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එංගලන්ත කණ්ඩායම සතු දඟපන්දු යැවීමේ බලඇණිය බැලූ විට ඔවුන්ට කිසිදු තරගයක් ජය ගැනීමට හැකියාවක් තමන් නොදකින බවයි.

“එය බොහෝ විට 3-0 හෝ ඇතැම් විට 3-1 ලෙස අවසන් වෙයි, රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා රාත්‍රි ටෙස්ට් තරගයේ බොහෝ විට කණ්ඩායම් ද්විත්වයටම 50-50 අවස්ථාවක් ලැබෙයි. මම එංගලන්තයට අවස්ථාවක් ඇතැයි දකින්නේ ඒ තරගයේ පමණයි” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම නිමා වු ශ්‍රී ලංකා- එංගලන්ත ටෙස්ට් තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් Gambhir ප්‍රකාශ කර සිටියේ එංගලන්ත නායක Joe Root ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ ඉතා හොඳින් ක්‍රීඩා කරමින් 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් වුවත් මෙම තරගාවලිය ඔවුන්ට වෙනස් වූ අභියෝගයක් බවයි.

“ඔව්, ඔහු (Joe Root) ශ්‍රී ලංකාවේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒත් ඔවුන් Jasprit Bumrah වැනි පන්දු යවන්නෙකුට මුහුණ දීමේ දී එය ඕනෑම කඩුල්ලක විශාල අභියෝගයක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ දැක්වූ දස්කම් සමඟින් R Ashwin ඉතාමත් හොඳ මානසිකත්වයකින් ඉන්නේ. ඒ නිසා මට විශ්වාසයි මෙය ඉතාමත් තරගකාරී තරගාවලියක් වෙයි කියලා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ඉන්දීය නායක Virat Kohli පිළිබඳව සිය අදහස් දක්වමින් Gambhir ප්‍රකාශ කර සිටියේ Kohliගේ ටෙස්ට් සහ එක්දින නායකත්වය පිළිබඳව තමන්ට කිසිදු ගැටලුවක් නොමැති නමුත් ඔහුගේ පන්දුවාර 20 නායකත්වය පිළිබඳව ගැටලුවක් තිබෙන බවයි.

“ඔව්, ඔහු ටෙස්ට් ක්‍රිකට් තරගවල දී ඉතාමත් හොඳින් නායකත්වය හසුරුවලා තියෙනවා, මට හැමතිස්සෙම ප්‍රශ්නයක් තිබ්බේ ඔහුගේ පන්දුවාර 20 නායකත්වය පිළිබඳවයි. මට කවදාවත් ඔහුගේ එක්දින සහ ටෙස්ට් නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.

ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා, විශේෂයෙන්ම රතු පන්දුවෙන් ක්‍රීඩා කරන තරගවල දී. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම තව දුරටත් වර්ධනය වෙයි.  විශේෂයෙන්ම රතු පන්දුවෙන් ක්‍රීඩා කරන තරගවල දී” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලියේ දී 2-1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ජය ගැනීමට ඔවුන් සමත් වූ අතර අවමන් සහගත පරාජයක් ලැබූ මුල්ම තරගයෙන් පසු ඉන්දීය නායක Virat Kohli පෞද්ගලික හේතුවක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරන ලදි.

පසුව කණ්ඩායම මෙහෙයවමින් පෙරළිකාර ජයක් කරා කණ්ඩායම රැගෙන යාමට වැඩ බලන නායක (වත්මන් උපනායක) Ajinkya Rahane සමත් වූ අතර Kohliගේ නැවත පැමිණීමෙන් පසු එංගලන්ත තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඔහු හට හිමිව ඇත.

තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙම මස 05 වැනිදා චෙන්නයි හීදී ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලිය සඳහා දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ද ඇතුළත් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<