ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත වෙයි ද?

136
Image Courtesy - ESPN

ඉන්දියාව සහ එංගලන්තය අතර චෙන්නායිහි M. A. Chidambaram ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවකාශය හිමි වන බව වාර්තා වේ. ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය චෙන්නායිහි දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තමිල්නාඩු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයකට අනුව ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂකයින් පිරිසකට තරගය නැරඹීමට අවසර හිමි වනු ඇත. 

“ඉන්දීය මධ්‍යම රජය නිකුත් කළ නව COVID-19 නීතිරීති අනුව ඉන්දු – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීම ගැන අපි සාකච්ඡා කළා. ප්‍රාන්ත රජය හා මධ්‍යම රජය යන පාර්ශව දෙකම ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයින්ට විවර කරන්නට අවසර ලබා දී තිබුනා.” යයි තමිල්නාඩු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියෙකු PTI පුවත් සේවය වෙත පවසා තිබුනි. 

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා තමිල්නාඩු ක්‍රිකට් සංගමය තීරණය කළා, නිසි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලවල් අනුගමනය කරමින් 50%ක ප්‍රේක්ෂකයින් පිරිසකට තරගය නරඹන්න ඉඩ ලබා දෙන්න.”

A. Chidambaram ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 50,000කට තරග නැරඹීම සඳහා ඉඩකඩ පවතියි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා දින ආරම්භ වන අතර දෙවන තරගය පෙබරවාරි මස 13 වනදා ඇරඹීමට නියමිතය.  Ahmedabad හි පැවැත්වෙන තෙවන සහ සිව්වන ටෙස්ට් තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ඉඩ ලබා දෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් නිවේදනය කර තිබේ. 

HindustanTimes වෙබ් අඩවියට අනුව එම තරග දෙකම ආවරණය කිරීම සඳහා මාධ්‍යට අවස්ථාව හිමි වේ. කෙසේ වෙතත් මාධ්‍ය සම්මන්ත්‍රණ දිගටම මාර්ග ගත ක්‍රමයටම පැවැත්වෙන බව වාර්තා වේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ තමිල්නාඩු ක්‍රිකට් පාලක මණ්ඩලය මුලින් තීරණය කර තිබුනේ පළමු ටෙස්ට් තරග දෙක ප්‍රේක්ෂකයින් රහිතව පැවැත්වීමටය. නමුත් ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය COVID-19 නීතිරීති ලිහිල් කිරීම නිසා තරග ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට අවධානය යොමු වී තිබේ. 

“පළමු ටෙස්ට් තරගයට තව තියෙන්නේ පොඩි කාලයයි. ඒ නිසා ඒ තරගය ප්‍රේක්ෂකයින්ට නරඹන්නට කටයුතු සූදානම් කරන්න අමාරුයි. පළමු හා දෙවන ටෙස්ට් තරගය අතර විවේකය තිබෙන්නේ දින තුනක් පමණක් වුනත්, අපි විශ්වාස කරනවා ප්‍රේක්ෂකයින් 50%කට ක්‍රීඩාංගණය විවෘත කරන්නට කටයුතු සුදානම් කරන්න පුළුවන් වෙයි කියලා.” යයි තමිල්නාඩු ක්‍රිකට් සංගමයේ නිලධාරියා පවසා තිබුනි. 

මෙවැනි තත්වයක් මැද ‘ප්‍රේක්ෂකයින් රහිතව තරග පවත්වන’ ලෙස එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර තිබීම විශේෂත්වයකි. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<