ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙකුට කොන්ත්‍රාත්තු

1239

2021 අගෝස්තු 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු සඳහා කොන්ත්‍රාත්තු ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නව කොන්ත්‍රාත්තුව මාස 5ක කාලයක් සඳහා බලපැවැත්වෙන අතර එය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ. තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සකස් කරන ලද මෙම කොන්ත්‍රාත්තුවට කිසිදු විරෝධතාවයක් නොමැතිව ක්‍රීඩකයින් අත්සන් තබා තිබෙනවා.

අදාළ කොන්ත්‍රාත් ලබා දීමේ දී තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින්ව කාණ්ඩ හතරක් යටතේ තෝරාගෙන දක්ෂතාවය, ශාරීරික යෝග්‍යතාවය, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, හැසිරීම සහ අනාගතය සඳහා වන අනුවර්තනය යන නිර්ණායක මත පදනම්ව ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු ලබා දී තිබෙනවා.

මේ අතර මීට පෙර කොන්ත්‍රාත්ගතව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඉකුත් මාස කීපයේ දී ම තේරීම් සඳහා සලකා බැලීමට නොහැකි වූ බැවින් ඔහුව කොන්ත්‍රාත්තු අත්සන් කිරීම සඳහා ඇතුළත් කර නොමැත.

ඊට අමතරව දැනට තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ද මෙම කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව නොමැත. ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියට සමුදී තිබෙන නිසාවෙන් ඔහුව මීට සම්බන්ධ කරගෙන නැත.

කොන්ත්‍රාත්තුවට අත්සන් තැබූ ක්‍රීඩකයින්: ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර, අකිල ධනංජය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<