වෙළඳසේවා සටනක් අතරතුරේ දී රමිත් රඹුක්වැල්ලගෙන් පෙරළියක්!

2177

තරගයෙන් තරගයට, පන්දුවාරයෙන් පන්දුවාරයට උණුසුම වැඩි වන වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අද (15) ක්‍රීඩාංගණ දෙකක දී ක්‍රියාත්මක විය.

එහි දී ජයග්‍රහණ වාර්තා කර ගත්තේ MAS යුනිචෙලා, ජෝන් කීල්ස්, ඩිමෝ සහ හේලීස් යන කණ්ඩායම් හතරයි. අද දිනයේ සිදුවුණු සුවිශේෂීම සිදුවීම වන්නේ තරග හතරේම ජයග්‍රහණය, කාසියේ වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීම තෝරාගත් කණ්ඩායමට හිමි වීමයි!

අසේල ගුණරත්න නැවතත් ක්‍රිකට් පිටියට

ලංකන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ‘SLC Premier Emerging League’ තරගාවලිය යටතේ පනාගොඩ දී…

සම්පත් බැංකුව සහ MAS යුනිචෙලා කණ්ඩායම අතර තරගය

කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති මෙම තරගය කඩුලු 8කින් ජය ගත්තේ පසුගිය වෙළඳසේවා එක්දින තරගාවලියේ දී හොඳින් දක්ෂතා දැක්වුවද ශූරතා කුසලානය අහිමි වූ MAS යුනිචෙලා කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් අද විස්සයි විස්ස තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය. අද තරගයේ කාසියේ වාසිය දිනාගත් MAS යුනිචෙලාවන් මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව සම්පත් බැංකුව වෙත ලබා දුන් අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් කඩුලු 8කට ලකුණු 139ක් රැස් කළහ.

එහි දී සම්පත් බැංකුව වෙනුවෙන් එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ හසන්ත ප්‍රනාන්දු ලකුණු 53ක් රැස් කළේය. දිනුක් වික්‍රමනායක ලකුණු 30යි. පන්දු යැවීමේ දී දුමිඳු තිලකරත්න, ඉෂාර අමරසිංහ සහ ෆර්වීස් මහරූෆ් අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියේය. මෙම ඉලක්කය පසුපස හඹාගිය යුනිචෙලා පිතිකරුවන් අතිශයින්ම වේගවත් ක්‍රීඩා රටාවක නිරත වෙමින් පන්දුවාර 9ක් ගත වීමටත් පෙරම ජය කණුව පසුකර ගියහ. යුනිචෙලා ඉනිමේ සුපිරි වීරයා බවට පත්වුනු රමිත් රඹුක්වැල්ල එහි දී නොදැවී ලකුණු 97ක් රැස් කරමින් විශිෂ්ට පිතිකරණයක නිරත විය.

සම්පත් බැංකුව – කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 20): හසන්ත ප්‍රනාන්දු 53, දිනුක් වික්‍රමනායක 30, දුමිඳු තිලකරත්න 2/22, ඉෂාර අමරසිංහ 2/26, ෆර්වීස් මහරූෆ් 2/33.

MAS යුනිචෙලා කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 140 (පන්දුවාර 8.5): රමිත් රඹුක්වැල්ල 97*, ෆර්වීස් මහරූෆ් 29*.


කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සහ ජෝන් කීල්ස් කණ්ඩායම අතර තරගය

කොළඹ වෙළඳසේවා පිටියේ දී ම ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් ජය ගත්තේ ජෝන් කීල්ස් කණ්ඩායමයි. ඒ කඩුලු දෙකකිනි. කාසියේ වාසිය දිනාගෙන පිතිකරණ අවස්ථාව කොමර්ෂල් පිළට ලබා දුන් ජෝන් කීල්ස් කණ්ඩායම ඔවුන්ව ලකුණු 129කට සීමා කිරීමට සමත් විය. ඒ අතරතුර පන්දුවාර 20 නිමාවීමට පෙර ප්‍රතිවාදී කඩුලු 9ක් ඩැහැ ගැනීමට ද ජෝන් කීල්ස් පන්දු යවන්නන්ට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජෝන් කීල්ස් කණ්ඩායම වේගයෙන් පිතිකරණයේ යෙදීම නිසා දළ ලකුණු වේගය පිළිබඳව ගැටලුවක් නොතිබුණ ද ඔවුන්ගේ කඩුලු නිරන්තරයෙන් බිඳ වැටීම නිසා ජය පැරදුම දෙපසට දෝලනය වන අයුරු ද දැක ගන්නට ලැබුණි. කෙසේ වෙතත් පන්දුවාර 17ක් අවසන් වන විට කඩුලු 2ක තියුණු ජයක් හිමි කර ගැනීමට ජෝන් කීල්ස් පිළට හැකි විය. එහි දී ලකුණු අතරට පිවිසි භානුක රාජපක්ෂ ලකුණු 37ක් ද වේගපන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන විකුම් සංජය නොදැවී ලකුණු 27ක් ද රැස්කර ගත්හ.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 9ක් දැවී ලකුණු 129 (පන්දුවාර 20): සනිත ද මෙල් 37, මාලින්ද පුෂ්පකුමාර 24, චාමිකර එදිරිසිංහ 2/28.

ජෝන් කීල්ස් – කඩුලු 8ක් දැවී 130 (පන්දුවාර 17): භානුක රාජපක්ෂ 37, විකුම් සංජය 27*, ලහිරු මිලන්ත 20, , මාලින්ද පුෂ්පකුමාර 2/26, අසිත ප්‍රනාන්දු 2/42.

මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටනේ ඇතුලාන්තය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට…


ඩිමෝ කණ්ඩායම සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර තරගය

ඩිමෝ කණ්ඩායමට කඩුලු 6ක ජයක් අත්වුනු මෙම තරගය ක්‍රියාත්මක වූයේ මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය ද දිනාගත් ඩිමෝ කණ්ඩායමේ ඇරයුමින් මුලින් පිතිකරණයේ යෙදුණු කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම එහි දී සියල්ලන්ම දැවී ගියේ ලකුණු 101ක් පමණක් ලබා සිටිය දීයි. ඒ පන්දුවාර 18යි පන්දු 4ක දීයි. කැන්රිච් ඉනිම වෙනුවෙන් විශ්ව දීමන්ත ලකුණු 29ක් රැස්කර ගනිද්දී රමේෂ් මෙන්ඩිස්, නිසල තාරක සහ කවිශ්ක අන්ජුල කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩිමෝ කණ්ඩායම ඉතාමත් පහසුවෙන් අදාළ ඉලක්කය පසුකර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබිය දීයි. ඒ වෙනුවෙන් පන්දුවාර 14ක් ප්‍රමාණවත් විය. දක්ෂ පිතිකරණයක නිරත වුනු තික්ෂිල ද සිල්වා ලකුණු 54ක් රැස් කරමින් ඩිමෝ කණ්ඩායමේ මෙම පහසු ජයග්‍රහණයට මුද්‍රා තැබීය.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 18.4): විශ්ව දීමන්ත 29, රමේෂ් මෙන්ඩිස් 2/09, නිසල තාරක 2/14, කවිශ්ක අන්ජුල 2/24.

ඩිමෝ කණ්ඩායම – කඩුලු 4ක් දැවී ලකුණු 102 (පන්දුවාර 14): තික්ෂිල ද සිල්වා 54, රවීන් සේයර් 2/11.


හැටන් නැෂනල් බැංකුව සහ හේලීස් සමාගම අතර තරගය

මොරටු පුරවරයේ දී ම පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයක් තහවුරු කර ගත්තේ හේලිස් පෞද්ගලික සමාගමයි. ඒ අනුව වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අසුනක් හේලීස් සමාගමට ද හිමි විය.

කාසියේ වාසිය දිනූ හේලීස් සමාගමෙ ඇරයුමින් මුලින් පන්දුවට පහර දීමට සිදු වූ හැටන් නැෂනල් බැංකුව ලකුණු 115ක් තුල දැවී ගියේ හේලීස් ජයග්‍රහණය බලාපොරොත්තු දල්වාලමිනි. කෙසේ වෙතත් HNB කණ්ඩායම වෙනුවෙන් තනි සටනක යෙදුණු මාධව වර්ණපුර අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 17ට කඩුලු 4යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හේලීස් සමාගම පන්දුවාර 15 සම්පූර්ණ වීමටත් පෙර ජයග්‍රහණයේ උණුසුම විඳ ගැනීමට සමත් වූහ. එහි දී සචිත්‍ර සේරසිංහ නොදැවී අර්ධ ශතකයක් රැස් කර ගත් අතර රොන් චන්ද්‍රගුප්ත සාර්ථක පිතිකරණ රටාවක යෙදෙමින් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේය. හේලීස් සමාගමේ හඹායෑම අතරතුර බිඳ වැටුණේ ඇන්ඩි සොලමන්ගේ කඩුල්ල පමණි.

හැටන් නැෂනල් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 115 (පන්දුවාර 19.5): මාධව වර්ණපුර 51, නවිඳු නිර්මාල් 29, බිනුර ප්‍රනාන්දු 2/14, ලසිත් ඇඹුල්දෙණිය 4/17.

හේලීස් සමාගම – එක් කඩුල්ලක් දැවී ලකුණු 119 (පන්දුවාර 14.2): සචිත්‍ර සේරසිංහ 52*, රොන් චන්ද්‍රගුප්ත 44*, ඇන්ඩි සොලමන් 22.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න