IAAF ලෝක යොවුන් ශූරතාවලියට පොඩ්ඩෝ එකොළහක් ෆින්ලන්තයට

257

ෆින්ලන්තයේ Tampere හි පැවැත්වෙන, IAAF ලෝක යොවුන් ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ජූලි 10 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජූලි 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

පාරමී ලෝකයේම පළමු ස්ථානයට, පොඩ්ඩෝ සිව්දෙනෙක්ට ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් වයස අවුරුදු 18න් පහළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම්…

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බාලක මීටර 400, බාලිකා මීටර100, බාලිකා මීටර 800 සහ බාලිකා මීටර 3000 බාධක දිවීමේ කේවල ඉසව් සඳහා සහභාගී වීමට නියමිතය. බාලක හා බාලිකා මීටර 400 සහය දිවීමේ ඉසව්වලින් ද යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොලොස්දෙනාම ජපානයේ ජිෆූ හි පැවැත්වුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් නවයක් දිවයිනට රැගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ නවතම වීරයා ලෙස හැඳින්විය හැකි අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මාධ්‍ය මහා විද්‍යාලයේ අරුණ දර්ශන නිමා වූ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ඉතා ඉහල දස්කම් දැක්වූ අතර නව තරග වාර්තාවක් ද සමඟින් මීටර 400 ඉසව්ව තත්පර 45.79කින් නිමා කිරීමට ඔහු සමත් විය. ඔහුගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 100X4 සහය දිවීමේ ඉසව්වේ ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. අරුණගේ තරග වාර්තාව 2006 සිට ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිව්වන හොඳම තරග කාලය වන අතර ජපානයේ දී අරුණ වාර්තා කළ 45.79ක් කාලය මේ වසරේ වයස අවුරුදු 20න් පහල ක්‍රීඩකයෙකු වාර්තා කළ නව වන හොඳම කාලය වේ. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජැමෙයිකානු වන් සිව් දෙනෙක්, ඇමරිකානුවන් තිදෙනෙක් හා නයිජිරියානුවෙක් වේ.අ රුණ දර්ශන මෙවර IAAF ලෝක යොවුන් ශූරතාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන බලාපොරොත්තුවක් වනු ඇත.

ජපානයේ දී ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට (Ayaka Kawata and Ayano Shioni) පසුපසින් තෙවැන්නා ලෙස මීටර 800 ධාවන ඉසව්ව අවසන් කළ දිල්ෂි කුමාරසිංහ මේ වන විට ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල විසිවැනි ස්ථානයේ සිටින අතර මේ වසර සඳහා ඇයගේ හොඳම කාලය 02:04.53 ක් ලෙස දැක්වුණි. ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් ඇය මෙවර IAAF ලෝක යොවුන් ශූරතාවලියේ දී සිංහ කොඩියේ අභිමානය වෙනුවෙන් සටන් වදිනු ඇත.   

17 වියැති පාරමී වසන්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානයේ දී සුපිරි දස්කම් දැක්වූ අතර බාලිකා මීටර 3000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම සමඟ වාර්තාගත 10:21.54ක කාලයකින් තරගය නිම කිරීමට ඇය සමත් විය. මේ වන විට ඇය 2018 වසර සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්වල 43 වන ස්ථානයේ සිටින අතර යොවුන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී සුපිරි දස්කම් දක්වමින් බාලිකා මීටර 2000 ඉසව්ව රන් පදක්කම සඳහා ප්‍රථමයා ලෙස නිමා කරමින් මෙවර තරග වාරය සඳහා වයස අවුරුදු 18න් පහල ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට ඇය සමත් විය.

අමාෂා ද සිල්වා දකුණු ආසියාව ජය ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ කෙටිදුර රැජින වන අතර නිමාවූ දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ මීටර 100, මීටර 200 ඉසව් ද්විත්වයම ඇයගේ ග්‍රහණයට ගැනීමට ඇය සමත් විය. ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් ද්විත්වයකින් සෑහීමට පත්වීමට ඇයට සිදු වුවත් දෙවතාවේම ඇයගේ පෞද්ගලික දක්ෂතාව ඉහල දැමීමට ඇය සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් බලාපොරොත්තුවක් වනු ඇත්තේ බාලක හා බාලිකා මීටර 4X400 සහය දීමේ ඉසව් දෙකයි.

ශ්‍රී ලංකා බාලක 4X100 කණ්ඩායම ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 3:08.70ක් කාලයකින් ඉතා පහසුවෙන් එම ඉසව්ව නිමා කිරීමට ඔවුන් සමත් විය. සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත්, නාලන්ද විද්‍යාලයේ පබසර නිකු, මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර හා අරුණ දර්ශන කලාපීය ජයෙන් පසු සිය දක්ෂතාවයන් ලෝක මට්ටමට ගෙන යාමට මාන බලනු ඇත. වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ හර්ෂ රත්නායක අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇත.

 

ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ දී ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට නම් ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වීමට සිදු වූ අතර ජපානය හා ඉන්දියාව පිළිවෙළින් දෙවන හා පළමු ස්ථාන දිනා ගන්නා ලදි. 3:45.16ක කාලයකින් ඉසව්ව නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ෆින්ලන්තයේ දී අවසාන මහා තරගයේ ස්ථානයක් සොයනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

අරුණ දර්ශන – 400m, 4X400m – අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මාධ්‍ය විද්‍යාලය  

දිල්ෂි කුමාරසිංහ  – 400m, 4X400m – වලල ඒ රත්නායක මාධ්‍ය විද්‍යාලය  

අමාෂා ද සිල්වා – 100m, 4X400m – මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය

පාරමී වසන්ති  – 3000m බාධක දිවීම – කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලය

පසිඳු කොඩිකාර (මලියදේව විද්‍යාලය), පබාසර නිකු (නාලන්ද විද්‍යාලය), රවිෂ්ක ඉන්ද්‍රජිත් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය), හර්ෂ කරුණාරත්න (වලල ඒ රත්නායක) – 4X400m  

රොමේෂි අත්තිඩිය (ලයිසියම් ජාත්‍යන්තර පාසල), සචිනි දිව්‍යන්ජලි (ලයිසියම් වත්තල), සඳුමිනි බණ්ඩාර (ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය කෑගල්ල), දිල්ෂි කුමාරසිංහ (ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය) – 4X400m

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<